උපන්දින සාදයකදී යකා නටයි

උපන්දින සාදයකදී යකා නටයි

බටපොල ප‍්‍රදේශයේ උපන්දින සාදයකදී ඇති වු ආරවුලක් හේතුවෙන් කඩු, මන්නා, පිහි හා උල් අයුධ ප‍්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ තරුණයින් පස් (05) මේ වන විටත් ඇල්පිටිය හා ගාල්ල, කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබයි.
බරපතල තත්ත්වයේ තුවාල කරුවන් තිදෙනකු (03) කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් අත් අඩංගුවට ගෙන නොමැති බව තුවාල කරුවන්ගේ ඥතීන් ප්‍රකාශ කරයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පමා කර ඇත්තේ උසස් පොලිස් නිලධාරියකුගේ බලපෑම මත බවද එම පොලිස් නිලධාරියාගේ රැකවරණයෙන් මත සැකකරුවන් නිදැල්ලේ පසුවන බවද තුවාල කරුවන්ගේ ඥාතීන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා (08) රාත‍්‍රී බටපොල පොලිස් බල ප‍්‍රදේශයේ කහටපිටිය දිග්බැද්ද ගම්මානයේ දී මෙම ආරවුල සිදුව තිබෙන බව බටපොළ පොලිසිය කියයි.
මෙම ආරවුලට සම්බන්ධ පිරිස කඩු, කිනිසි, උල් අයුධ සපයා ගෙන ඇත්තේ ගැටුමේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකුගේ පියා වන දැනට පොලිස් සේවයේ නිරත නිලධාරියකුගේ නිවසේ තිබී බවට යැයි තොරතුරු ලැබි තිබෙන බවද බටපොළ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පොලිස් නිලධාරියකුගේ පුතුන් ඇතුළු හත් (07) දෙනෙකු හෝ ඊට වැඩි තරුණ පිරිසක් එකවර ආරවුලට අදාල නිවසට කඩා වැදී කඩු, කිනිසි හා උල් ආයුධ වලින් ප‍්‍රහාර එල්ල කරන ආකාරය ඊට යබද ගරාජයේ සවිකර තිබූ සීසීටීවි කැමරා පද්ධතියේද පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් ඒ නිසාම අදාල සැකකරුවන් මේ වන විටත් හදුනාගෙන ඇති බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
සිකුරාදා (08) රාත‍්‍රී 11.30 ට පමණ බටපොල හතර කනුව, කහටපිටිය, දිග්බැද්ද ප‍්‍රදේශයේ වාහන පින්තාරු කරන ගරාජ් එකක් අසල දී අවුරුදු 18 ත් 21 ත් අතර තරුණ පිරිසක් අතර මෙම ආරවුල ඇති වී තිබේ. එම ගරාජයට අසල්වැසි නිවසක පදිංචි පොලිස් නිලධාරියකුගේ පුතුන් දෙදෙනෙකු එම නිවසේ තිබී රැගෙන ආ කඩුවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම හේතුවෙන් තරුණයින් පස්දෙනෙකු (05) ඇල්පිටිය හා ගාල්ල, කරාපිටිය රෝහල්වලට ඇතුලත් කර තිබෙන බවද බටපොල පොලීසිය කියයි.
සිද්ධිය වූ අවස්ථාවේ තුවාල ලැබූ තරුණයින් පස් (05) දෙනෙකු ඇල්පිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එයින් බරපතල තත්ත්වයේ සිටි තරුණයින් තිදෙනෙකු (03) වහාම වැඩි දුර ප‍්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව ඇල්පිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
තුවාල කරුවන් මේ වන විටත් රෝහල්ගතව සිටියදීත් සැකකරුවන් නිදැල්ලේ පසුවීම තුල තුවාලලත් තරුණ පිරිසගේ පවුල්වල ඥාතින්ට මැර පිරිසෙන් විවිධ තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් අදාල සිද්ධියට සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන පොලිසිය වෙත ලබා දීමට කටයුතු නොකරන ලෙසත් එසේ වුවහොත් බරපතල තත්ත්වයන් ඇති විය හැකි බවට මැරවරයින් දිගින් දිගටම තර්ජන කරන බවද තුවාල කරුවන්ගේ ඥාතීන් සදහන් කරයි.
පහර කෑ තරුණ පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් කුරුදු ඉඩමක සැගවී දිවි බේරාගත් බව තුවාල කරුවෙක් පැවසීය. මේ වසරේ ජනවාරි මාසයේ සිට බටපොල, ඊරියගහදොල, කොන්ඩගල, දොරල, පොල්ලැව්ව, කහටපිටිය ආදී ප‍්‍රදේශවල කඩු කල්ලි, මන්නා කල්ලි සැරිසරන බවද ප්‍රදේශවාසීහූ ප්‍රකාශ කරති. සංගීත ප‍්‍රසංග ආදී පොදු හා විනෝද අවස්ථාවලදී මෙම මැර කණ්ඩායම් වල ප‍්‍රහාරයන්ට ලක් වූ 50 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත වී ප‍්‍රතිකාර ලැබුවත් තවමත් මෙම මැර පිරිස් නිරුපද්‍රිතව සිටින්නේ අදාල උසස් පොලිස් නිලධාරියාගේ රැකවරණය මත බවද මීටියාගොඩ, බටපොල, බද්දේගම ආදී ප‍්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරති.
ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියකු බටපොල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකොට මෙම සිද්ධියට සම්බන්ධ වරදකරුවන් වන්නේ තුවාල ලත් පාර්ශවය බවත් ඒ අනුව පරික්ෂණ මෙහෙයවීමට කටයුතු කරනැයිද නියෝග ලබා දී තිබෙන බව බටපොළ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. එම අවස්ථාවේ බටපොළ ස්ථානාධිපතිවරයා අදාල උසස් පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ තුවාල ලත් තරුණ පිරිස සිටි නිවසට මැරවරයින් තියුණු ආයුධ සහිතව කඩා වැදී අමානුෂික ලෙස පහර දි බරපතල තුවාල සිදු කරන අයුරු සීසීටීවී කැමරා වල සටහන්ව තිබෙන බවත් බවද දැනගන්නට තිබේ. නමුත් උසස් පොලිස් නිලධාරියාගේ නියෝග මත මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට සදුදා (11) පෙරවරුවේ ගිය විට උසස් නිලධාරින් කිසිවකු නොමැති බව පවසමින් පැමිණිල්ල භාර නොගත් බව තුවාල ලත් තරුණ පිරිසේ ඥාතින් පවසයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරි කටයුත්තකට කාර්යාලයෙන් බැහැරව සිටින බවත් ඔය කියන කිසිදු චෝදනාවකට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සම්බන්ධතාවයක් නොමැති බවත්ය. මෙම චෝදනා සියල්ලම ප‍්‍රතික්ෂේප කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *