උඩ පියාඹන පොළොන්නරුවේ උකුස්සා බිම බලාගෙනයි යන්නේ

උඩ පියාඹන පොළොන්නරුවේ උකුස්සා බිම බලාගෙනයි යන්නේ ගොදුරක් ලැබෙන කල්–ඉන්දික අනුරුද්ධ

උඩ පියාඹන උකුස්සා බිම බලාගෙනයි යන්නේ ගොදුරක් ලැබෙන කල්. පොළොන්නරුවේ උකුස්සාත් එහෙම තමයි.-හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

ඔහු ඒ බව ප්‍රකාශ කළේ දිවුලපිටිය කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි

උඩ පියාඹන උකුස්සා බිම බලාගෙනයි යන්නේ ගොදුරක් ලැබෙන කල්. පොළොන්නරුවේ උකුස්සාත් එහෙම තමයි. පොළොන්නරුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න හිටපු ජනාධිපති සිරිසේන කිව්වා මම උකුස්සා වගේ වෙලාවට ඇවිල්ලා හොදට බලාගෙන ඉඳලා එක සැරේටම වතුර ඇතුලෙ ඉන්න ඇතුළෙ ඉන්න මාළුවා අල්ල ගන්න පුලුවන් කියල. ඒ කිව්ව කතාවේ ලොකු අර්ථයක් තියෙනවා. ඒක විහිළුවක් නම් නෙමෙයි.

2015 මැතිවරණයෙදි අපට මන්ත්‍රීවරු අනූහයක් පත් කරගන්න පුළුවන් වුණා. ඒ වෙලාවෙ අපේ ගෙවල් ගිනි තියලා, මාව සතියක් හිරේ දාලා, අපිව බිත්තියට හේත්තු කරලයි තිබුණේ. වෙනත් විදිහකින් කියනවා නම් හොම්බ බිම ඇනිලායි හිටියේ. අපට පෙන්වන්නට තිබුණේ තිබුණේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක විතරයි. ඒක පෙන්නලා රටට කිව්වා අපි මහින්ද රකින මිනිස්සු. අපට ඡන්දෙ දෙන්න කියලා. මහින්ද කියන ජන නායකයා රට රැක්ක නිසා, ජනතාවට සේවය කරපු නිසා, රටේම ජනතාව එතුමාට ආදරය කළා.

දවසක් එතුමා කිව්වා උපාධිධාරීන් 50000 කට පත්වීම් දෙන්න යනවා කියලා. එ්වෙලාවේ අපේ සමහර අය කිව්වේ ඔය ලැයිස්තුව අපට හදන්න දෙන්න, එතකොට පුලුවන් අපේ උන් ටිකක් දාගන්න කියලා. එතකොට මහින්ද මහත්තයා කිව්වා හේන් කොටල, කුලී වැඩ කරලා, නොකා නොබී දරුවන්ට උගන්නපු දෙමව්පියන්ගෙ දරුවො මෙතන ඉන්නවා. ඒ නිසා මෙතැනදී පක්ෂ පාට භේද මම බලන්නේ නෑ කියලා. එතුමා කිව්වා රටේ හැමෝම උපාධිධාරියෙකුටම පත්වීම් දෙන්නම ඕනේ කියලා. අන්න ඒ නිසයි, ඒ වගේ නායකයෙක්ගේ ෆොටෝ එක දැම්⁣තමොත් හරි කියලා මම මුලින් කිව්වේ.

දැන් අර සමගි ජන බලවේගය බලන්න. එකේ ඉන්න අය එකාට එකෙක් නෑ. එකාට එකෙක් අදුරන්නෙත් නෑ. මිනුවන්ගොඩට සමගි බලවේගයෙන් ඉදිරිපත් වෙන කෙනාගේ නම දන්න කෙනෙක් ඉන්නව නම් මට දැන් කියන්න. නෑ. කවුරුත් දන්නෙ නෑ.

අපි වගේම පාර්ලිමේන්තුවට ඔබේ ඡන්දයෙන් ගිය අර 96 න් කොටසක් උකුස්සා පහර දීලා එයාගෙ පැත්තට ඇදලා ගත්තා. වරදානවලට ගිජු වෙච්ච අපේ සමහර උන් නිකාන්ම ඒ පැත්තට ඇදිලා ගියා. පොළොන්නරුවෙ උකුස්සා අදත් ඒ න්‍යායෙන් තමයි වැඩේ දෙන්න බලන්නෙ.

මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දී අපි කෙලින්ම සම්බන්ධ වෙන්නේ කටාන සමගයි. කටානෙන් අසීමිත සහයෝගයක් අපට ලැබෙනවා. කටානේ ඕන කෙනෙකුගෙන් අහන්න, තමන්ගෙ මනාප තුනෙන් එකක් දෙන්නෙ කාටද කියලා. අනිවාර්යෙන්ම එකක් ඉන්දික අනුරුද්ධට කියලා මම විශ්වාස කරනවා. එ්ක අපට දැනෙනවා. ඒ වගේ ම කටානටත් අපි කලගුණ සලකන්න ඕන. අපි ඒක අනිවාර්යෙන්ම කරනවා.

කාටහරි කියන්න පුළුවන් පහුගිය අවුරුදු හතරහමාරක කාලයෙදි ඉන්දික අනුරුද්ධ මොනවත් කලේ නැහැ නේද කියලා. නිවාස ණයක්, රස්සාවක්, ස්වයං රැකියා ආධාරයක් දුන්නේ නෑ. තරුණ සමිති, කාන්තා සමිති දිහා බැලුවෙ නෑ. තව කෙනෙක් අහන්න පුලුවන් අර ව්‍යාපාරික සංගමය කෝ කියලා. ඒ සංගමයෙන් තමයි අර බයිසිකල්වලට ලීසින් එක මාස 6 ක් යන තුරු ගන්න එපා කියන ඉල්ලීම කළේ. අපි හැදුව ව්‍යාපාරික සංගමයේ දිස්ත්‍රික් නායකයෝ ඉන්නවා. ජාතික නායකයෝ ඉන්නවා. ඔවුන් විසින් තමයි අර ඉල්ලීම ගෝඨාභය ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ. කරපු දේවල් සහ අනාගතයේ දි කරන්න යන දේවල් ගැන දැන ගන්න පුළුවන් එළඹෙන එළැඹෙන අගෝස්තු පස් වැනිදායින් පස්සේ. මොකද, වසර පහකට ආසන්න කාලයක් අපි හිටියේ ආණ්ඩුවක් නැතුවනේ.

ආණ්ඩුවක් ගන්න අරගල නොකර, වරදාන වරප්‍රසාදවලට පෙරේත වෙලා යහපාලන අගුපිලේ ලගින්න අපිත් ගියා නම් මොකද වෙන්නේ? අපි ගියේ නෑ. එහෙම ගියා නම් අපිට ආණ්ඩුවක් ගන්න ලැබෙන්නේ නෑ. ඔවුන් අද වෙනකල් හිටියා නම් මේ රටේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.

පසුගියදා ජනාධිපතිතුමා විසින් හෙළිදරව් කළා එම් සී සී ගිවිසුම පිළිබඳව. එම් සී සී ගිවිසුම අත්සන් කරලා, පාර්ලිමේන්තුවට හා කැබිනට්ටුවට හොරෙන් ඩොලර් මිලියන දහයක් දොළහක් මං කොල්ල කාලා. ඒ මුදල් කන්දරාවට වෙච්ච දෙයක් නෑ. ජනාධිපතිතුමා ඒ වැරදි හොයල දැන් ජනතාවට එවල තියෙනවා තවදුරටත් හොයලා බලන්න. අපි එදත් එම් සී සී ගිවිසුමට විරුද්ධයි. අපට ආණ්ඩුවක් තිබුණ කියලාවත්, නායකයෝ කිව්වා කියලාවත්, විදේශවලින් බලපෑමක් ආවා කියලාවත් අපි ඔය ගිවිසුම් වලට පක්ෂ වෙන්නේ නෑ. අපේ නායකයෝ පක්ෂ වෙන්නෙත් නෑ.

මේ දූෂණ හා මංකොල්ලකෑම් වලට විරුද්ධව අපි එදත් විපක්ෂයේ ඉදලා අරගල කළා. හැට නව ලක්ෂයක ජනතාවක් අපට ඡන්දෙ දුන්නේ ඒකයි. අගෝස්තු පස් වෙනිදායින් පස්සේ රටට යහපත් කාලයක් උදා වෙනවා සහතිකයි.

ගතවුණ මේ කෙටි කාලයට නිවාස රාජ්‍ය ඇමැතිවරයා විදිහට දිවයින පුරා නිවාස පහලොස් දහසක් හදමින් ඉන්නවා. මේවෙන කොටත් ගෙවල් දෙතුන්දාහක් විවෘත කරලත් ඉවරයි. ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් ගෙවල් එක්දාස් පන්සියයක් හදනවා. දෙවැනි අදියර ඡන්දෙන් පසුව පටන් ගන්නවා. ඉඩම් විස්තීරණය නො වන නිසා, අපි දැන් ඉදිකරන්නට බලාපොරොත්තු වෙන්නේ මහල් නිවාස. ගම්පහ දිස්ත්‍රික්කයේ අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඉවරයි නිවාස ව්‍යාපෘති සඳහා. ජනාධිපති තුමා කිව්වා විද්‍යාලයට යාමට සමත් වන, එහෙත් නිවසක් නැති සෑම දරුවෙකුටම නිවසක් සාදා දෙන්න කියලා. අපට ඉන්නේ ඒ වගේ දුරදිග බලන, රට රකින ජනාධිපතිවරයෙක්. ඒ නිසා අනිවාර්යයෙන් ම අපි ඔහුට ශක්තියක් විය යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *