ඉදිරියේදී බෞද්ධ ප්‍රතිපත්ති පිළිගන්නා අයෙකු රටේ නායකත්වයට පත් කර ගත යුතු යි–ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලය

ඉදිරියේදී බෞද්ධ ප්‍රතිපත්ති පිළිගන්නා අයෙකු රටේ නායකත්වයට පත් කර ගත යුතු යි–ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලය

රටේ අනාගත අදුරු තත්ත්වය ගැන සිතා ඉදිරියේදී බෞද්ධ ප්‍රතිපත්ති පිළිගන්නා අයෙකු රටේ නායකත්වයට පත් කර ගත යුතු බැවින් මේ සදහා පෞද්ගලික මති මතාන්තර පසෙකලා පොදු පරමාර්ථයක් ඇතිව කටයුතු කළ යුතු බව නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ ගම්පහදී පැවසුහ.

ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් , ගම්පහ සාම මහා විහාරස්ථානයේදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙසේ පැවසුහ.

පහලගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමි මුලසුන හෙබවූ එම සාකච්ඡාවේදී විජය මෛත්‍රී නාහිමි මෙසේද කීහ.

” අපි ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි නායකයෙකු අපට අවශ්‍යයි. එදා මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි රිෂාඩ් බදුර්දීන්ලා පසුව එක්සත් ජාතික පක්ෂයට එක් උනා. මේ ගැන සිතා අපි එකමුතුව ක්‍රියාකළ යුතුයි.

මේ නිසා මුලු රටම නියෝජනය වන පරිදි ඉදිරි භයංකාර තත්ත්වයෙන් රට මුදාගැනීම පිනිස කටයුතු කළ යුතුයි.භික්ෂූන් වහන්සේලාගේ සාමුහිකත්වය තුල සියල්ල ජයගත හැකියි. අපි ඒකරාශී වෙමින් පොදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවියහැකි නායකයෙකු ඉදිරියේදී පත් කර ගනිමු.”

මෙහිදී මුලසුන හෙබවූ පහලගම සෝමරතන හිමි අදහස් දක්වමින් මෙසේ පැවසූහ. ” මේ වනවිට පවතින යම් යම් දේ සම්බන්ධයෙන් ගම්පහ සංඝයා වහන්සේලාගේ හඩක් නැගිය යුතුයි. අද මේ රජය ජනතාව රවට්ටනව. ඒවගේම සිංහල කමට , බෞද්ධකමට එරෙහිව කටයුතු කරනු ලබන දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කළ යුතුයි.”

ගම්පහ සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමි :- ” රටේ පවතින ප්‍රශ්ණ සහ ගැටළු සම්බන්ධයෙන් මහා සංඝරත්නය ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. අප්‍රේල් 21 ඇතිවු ම්ලේච්ඡ ක්‍රියාව හෙලා දකින අතර එහිදී මියගිය අයට යුක්තිය සාධාරණත්වය මෙතෙක් ඉටු නොවී ඇති බැවින් එය කඩිනමින් විය යුතුයි.

අද වනවිට සිංහල ජනතාව මර්ධනය කිරීම සහ වද කිරීම දක්වා කටයුතු සිදු වෙමින් පවතින අතර සැලසුම් සහගතව ජන සංහාරයක් සිදුකොට ඇති බවක් පෙනෙනව. මෙය කුරුණෑගල පමණක් නොව විවිධ ප්‍රදේශවලදී සිදුව ඇති බව දැනගන්නට තිබෙනව.මේ සම්බන්ධයෙන් රජයමාර්ග ගත යුතුයි. සිංහල ජනතාව ආරක්ෂා කර ගැනීම කෙසේ වියයුතු දැයි මහා සංඝරත්නය සාකච්ඡා කළ යුතුයි.”

සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම නාහිමි :- ” අද වනවිට සිංහල දේශපාලකයින්ට රජයෙන් පවත්වාගෙන යාම පිනිස වෙනත් ජාතීන්ගේ සහාය අවශ්‍යවී තිබෙනව. ඉදිරියේදී මේ ගැන සිතිය යුතුව තිබෙනව. අපේ සිංහලයා සල්ලිවලට යටයි. ඕනෑම දෙයක් කරනව.විශාල මුදලක් දෙන බව පැවසූවොත් එම ක්ෂේත්‍රයේ අය දරුවන් වද කිරීමට පවා හවුල් වේවි.”

වෑබඩ අනුරුද්ධ නාහිමි :- ” ඉදිරියේදී හොද බෞද්ධ හැගීමෙන් යුතුව කටයුතු කළ හැකි ගිහියන් පාර්ලිමේන්තුව වෙත යැවිය යුතුයි. ”

මෙහිදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ , මේ වනවිට සිංහල පවුල්වල දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකුට සීමාවී තිබීම හේතුවෙන් සිංහල ජනතාව ඉදිරියේදී අඩුවීමක් වන තත්ත්වයක් පවතින බැවින් මේ පිළිබඳව සිංහල ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇතිවිය යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *