ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අරුජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව, කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් බවට විවිධ මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට මේ දිනවල එල්ලවෙන චෝදනා පිළිබඳව කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළ යුතු බවට සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ කරනලද ඉල්ලීම් හේතුවෙනි.

ඒ අනුව කතානායකවරයා විසින් අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් තමාට ලබාදෙනලෙස ජනාධිපති ලේකම් වරයාගෙන් ඉල්ලා තිබේ. එසේම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් බැදුම්කර කොමිසම් වාර්තාවේ අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතුලත්ව නැති බව ඇතැම් පිරිස් පවසයි.

එහෙත් සී 350 නම් කොටසක් බැදුම්කර කොමිසම් වාර්තාවෙන් ඉවත්කර ඇති බවද වාර්තා වේ.

එසේම දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් බැදුකර කොමිසම් වාර්තාවේ රටට හෙලි නොකල පිටු 106 වහා රටට හෙලිකරන ලෙසත් එහි බැදුම්කර වංචාව වසන් කිරීමට විවිධ දේශපාලනඥයන් සහ නිලධාරීන් ලබා ගත් සන්තෝසම් ඇතුලත්ව ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළ අතර මෙය හෙලිකරන ලෙස ජනාධිපතිවරයාට එම සංවිධානය විසින් ලිඛිතව දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *