ආර්ථිකය කඩා වැටිලා… මහ බැංකු වාර්තාවෙන් කබ්රාල් සාක්‍ෂි පෙන්වයි

ආර්ථිකය කඩා වැටිලා… මහ බැංකු වාර්තාවෙන් කබ්රාල් සාක්‍ෂි පෙන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවේ (2017) සඳහන් වන පරිදි ආර්ථික වර්ධනයේ සිදුව ඇති පසුබෑම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමේ ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ විග්‍රහයක්‌ මෙසේ පහතින් සටහන් වේ.

2006 වසරේ සිට 2014 දක්‌වා අපේ රටේ යම්කිසි ගමනක්‌ ආවා. ඒ කාලයේ සියයට 6.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක්‌ අපි වාර්තා කළා. පසුගිය වසර තුනේ ආර්ථික වර්ධනය දිගටම අඩුවෙලා සාමාන්‍ය ආර්ථික වර්ධනය සියයට 4.1 දක්‌වා අඩුවෙලා තියෙනවා. මේ අනුව ආර්ථික වර්ධන වේගයේ විශාල කඩා වැටීමක්‌ පසුගිය කාලය තුළ සිදුවෙලා තියෙනවා. නවතම මහ බැංකු වාර්තාව (2017) අනුව ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 3.1 යි එය වර්ෂ 16 කට පසු වාර්තා කළ අඩුම ආර්ථික වර්ධනයයි. මීට පෙර වර්ෂ 2001 දී ආර්ථික වර්ධනය සෘන තත්ත්වයට පත්වුණා. ඒ අනුව වසර 28 ක්‌ තුළ වාර්තා වූ දෙවැනියට අඩුම ආර්ථික වර්ධනයත් මේකයි.

මෙවර මහ බැංකු වාර්තාව පුරාවට අසාමාන්‍ය හා සැක කටයුතු ආකාරයට දත්ත වෙනස්‌ කිරීමට ගත් උත්සාහයන් දකින්නට තිබෙනවා. මෙය සත්‍ය සඟවා රජයට වාසිදායක ලෙස දත්ත ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක්‌. උදාහරණයක්‌ ලෙස 2017 වසරේ වාර්තා වී ඇති රු. බිලියන 13289 ක පවත්නා වෙළෙඳපොළ මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය අතිශයින් සැක කටයුතු ඉහළ අගයක්‌. එසේම අනෙකුත් අගයන් සමඟ නොගැලපෙන අගයක්‌. අපි දැනටමත් 2016 වසරේ සැබෑ ආර්ථික වර්ධනය සියයට 2.2 ක්‌ බව තර්කානුකූලව පෙන්වා දී තිබෙනවා. එසේම වත්මන් රජය යටතේ මහ බැංකුව නිකුත් කළ සෑම මහ බැංකු වාර්තාවකම දළ දේශීය නිෂ්පාදන අවධමනය හිතෙන හිතෙන පරිදි වෙනස්‌ කරමින් 2014, 2015, සහ 2017 යන වසරවල ආර්ථික වර්ධන වේගය තමන්ට පෙන්වීමට අවශ්‍ය ආකාරයට සකස්‌ කරගෙන ඇති බවත් පෙනෙනවා. එය ඉතාම බරපතළ කරුණක්‌.

පසුගියදා රුපියල සැලකිය යුතු පිරිහීමකට ලක්‌වුණා. එහිදී මම මාධ්‍යයට ප්‍රකාශයක්‌ කළා. එම ප්‍රකාශයෙන් පැහැදිලිවම කිව්වේ අදාළ සතිය තුළදී පමණක්‌ සිදුවූ රුපියලේ අවප්‍රමාණය නිසා අපේ ණයට රු. බිලියන 47 ක්‌ එකතු වූ බවයි. මේ කතාව අලුත් කතාවක්‌ නොවෙයි. 2015, 2016 සහ 2017 යන මහ බැංකු වාර්ෂික වාර්තා සියල්ලේම මහ බැංකුව පැහැදිලිවම කියනවා රුපියලේ අවප්‍රමාණය නිසා අහවල් මුදලක්‌ අපේ ණයට එකතු වුණා කියලා. මමත් කියලා තියෙන්නේ ඒකමයි. මම වසර 9 ක්‌ මහ බැංකු අධිපති ලෙස කටයුතු කළා. ඒ කාලෙ දැන් ඔය ඉන්න අයගෙන්ම මහ බැංකු ක්‍රියාවලිය ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා මම කියපු කතාව සම්පූර්ණයෙන්ම එකඟයි මහ බැංකුවත් සමඟ. මහ බැංකු වාර්තා ගත්තොත් මම ඒකෙ තියන වචනවලින්ම කියන්නම්, එනම් 2017 වසර අග වනවිට ප්‍රධාන විදේශ ව්‍යාවහාර මුදල් කීපයකට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සමස්‌ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 225.2 ක්‌ වැඩිවුණයි කියලා එහි සඳහන් මේ 2017 වසරෙදි රුපියල අවප්‍රමාණය වීම නිසා සිදුවූ ණය වැඩිවීමයි. 2016 වසරෙදිත් ඒ විදිහටම මහ බැංකුව කියලා තියෙනවා රටේ සමස්‌ත ණය තොගය රු. බිලියන 186.6 කින් වැඩිවුනයි කියල. ඒ විදිහටම ලියලා තියෙනවා 2015 වසරෙදීත් විදෙස්‌ ණය ප්‍රමාණය රුපියල පිරිහීම නිසා රු. බිලියන 285 කින් වැඩිවුණා කියල. ඒ කියන්නෙ මේ වසර තුන තුළදී අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් වලින් රුපියලේ අවප්‍රමාණය වීම නිසා පමණක්‌ රු. බිලියන 686.9 කින් වැඩිවෙලා තියෙනවා. දැන් එක සතියක රු. බිලියන 47 ක්‌ ගැන කතා කළවිට මේ අයට ගැරඩියට භූමිතෙල් ගැහුව වගේ කුලප්පු වෙන්න දෙයක්‌ නෑ. මොකද ඒ අයගේ වාර්තාවෙම ඒක තියෙනවා. ඒ නිසා මට තේරුම් ගන්න බෑ මොකක්‌ද මේ කළබලය කියලා. එහෙම වුණාම මහ බැංකුව සහ ආණ්‌ඩුව ඒ ගැන කටයුතු කරලා එහෙම නොවෙන්න නම් ඒ සඳහා කටයුතු කරන්න ඕන. ඒකයි මම කියන්නෙ. මෙහෙම වුනා කියලා මම කාටවත් ඇඟිල්ලක්‌ දික්‌ කරනනෙ නෑ. ඒ ගොල්ලො මට ඇඟිල්ල දික්‌ කරාට අංක ගණිතයේ වැරදීමක්‌ වුණයි කියලා.

kabral2ප්‍රශ්නයක්‌ වුණාම මූලිකම දේ තමයි ඒ ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. මෙතන ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ නිසානෙ මහ බැංකු වාර්තාවෙත් ඕක ලියන්නෙ. මහ බැංකු වාර්තාවෙ තවදුරටත් කියනවා 2018 වසර තුළදී තවත් සියයට 2.9 කින් රුපියල අවප්‍රමාණය වුනයි කියලා. එහෙම වුණා නම් දැන් තියන විදේශ ණය තොගය රුපියල් වටිනාකමින් වැඩිවීම තවත් රුපියල් බිලියන 136.9 ක්‌ වෙනවා. ඒ කියන්නෙ මේ යහපාලන රජය ආවට පසුව රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක්‌ අපේ ණය ප්‍රමාණයට රුපියල් වලින් තව රු. බිලියන 833.8 ක්‌ (රු. කෝටි 83380 ක්‌) එකතුවෙලා තියෙනවා. ඒකට සාපේක්‌ෂව අනිත් පැත්තේ අපට කිසිම වත්කමක්‌ ගොඩනැගිලා නෑ.

මේ රු. බිලියන 833.8 ක ණය වැඩිවෙලා තියෙන්නේ. 2015, 2016, 2017 සහ 2018 වසරේ අප්‍රේල් දක්‌වා කාලය තුළයි. ඇත්තටම මම රු. බිලියන 47 ක වැඩිවීම ගැන පමණයි කතා කළේ. ඒ ගැන මම සමාව ඉල්ලනවා. හරි නම් මම කතා කරන්න තිබුණෙ මේ බිලියන 833.8 ගැනයි. රුපියල පිරිහීම නිසා ඇත්තටම වෙලා තියෙන විපාකය මේකයි. රාජපක්‍ෂ යුගයේ මම මහ බැංකු අධිපෙති වෙලා සිටියදී චෝදනා නැගුවේ ගත්ත ණයවලින් හදපු සම්පත් ප්‍රමාණයවත් මදියි කියලයි. යටිමඩි ගැහුqවයි කියලත් කිව්වා. මෙතනදී මම කියන්නේ අපේ රටේ ණය ප්‍රමාණය ගණනය කරද්දි මේ කොටස එනම් මේ රු. බිලියන 833 තියනවා. දැං මම ඇහුවොතින් මේ වැඩි වූ රු. බිලියන 833 ට තියන සම්පත මොනවද කියලා මුකුත් නෑ. ඒකයි මගේ තර්කය.

ගන්න ණය ඩොලර්වලින්මයි ගෙවන්නෙ කියල කිව්වට එහෙනම් ගිහින් බලන්න විසර්ජන පනත දිහා. එහි රජය හැම අවුරුද්දෙම රු. බිලියන ගාණක්‌ වෙන් කරනවා ණය ගෙවීම සඳහා කියලා. ඒ වෙන් කරන්නේ එදාට පවතින විනිමය අනුපාත අනුවයි. ඒ විදේශ ණය ගන්න විට තිබූ විනිමය අනුපාත අගයන් අනුව නොවෙයි. ඒක මතක තියා ගන්න. එතකොට අද තිබෙන විනිමය අනුපාතය අනුව තමයි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නෙ අයවැයෙන් මෙතරම් රුපියල් ගණනක්‌ අපට අවශ්‍යයි කියලා. එනම් ඩොලර් ගන්න, පවුම් ගන්න, යෙන් ගන්න සහ යුරෝ ගන්න කියලා වෙන්කර ගන්නවා. එහෙම නම් මොකක්‌ද මේකෙන් කියවෙන්නෙ. මේක නාමික නොවෙයි. මේක ඇත්ත වශයෙන්ම ගෙවිය යුතු මුදල් බවයි.

ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙ ණය ගෙවා ගන්න බෑ ඒ නිසා අපිට බදු අය කරන්න ඕන කියලා. දැං ඔය ණය වැඩිවෙන්නෙ නාමිකව පමණක්‌ නම් බදු ගහන්න ඕන නැහැනෙ. ගත්ත ණය ගෙවන්නෙ ඩොලර්වලින් පමණයි කියල නිකං ඉන්න පුළුවන්නේ. එහෙම තර්කයක්‌ ගේන්න බෑ. මේකෙ නාමික කතාවක්‌ නෑ. අයවැයට ගිහින් බලන්න. අයවැයෙන් මේ රටේ මහජනයාගේ මුදල් මෙව්චරක්‌ වෙන් කරනව කියලා කියනව ණය ගෙවන්න ඒ මුදල්වලින් තමයි මේ ණය ගෙවන්නෙ.

එතකොට අපි ණය ගත්ත කාලෙ ඇමෙරිකානු ඩොලරයක්‌ තිබුණෙ රු. 130 නම් ඒක වැඩක්‌ නෑ. දැං ඩොලරයට රු. 159 ක්‌ ගෙවන්න ඕන. දැන් රු. 159 ක්‌ ගෙවල තමයි අයවැයෙන් වෙන් වෙන්නේ. ඒ වෙන් කරල තියන මුදල් මදි නම් තව අතිරේක මුදලුත් වෙන්කර ගන්නවා. ඒ නිසා මම දන්නෙ නෑ කොහෙන් මේ නාමික කතාවක්‌ ගෙනාවද කියල. ඒ කතාවට මට නම් කියන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ‘complete nonsanse කියලයි.

ඩොලර්වලින් ගන්න ණය ගෙවන්නෙ ඩොලර්වලින් පමණයි සහ ඒව ගෙවන්නෙ විදේශ සංචිතයෙන් කියන කතාවෙ භාගයක්‌ ඇත්ත. දැං මට කියන්න සංචිත එන්නෙ කොහොමද කියලා? සංචිත එකතු කරගන්නේa මහ බැංකුව වෙළෙඳපොළට ගිහින් ඩොලර් සල්ලි දීල ගන්නව. ඒ සල්ලි දීල ඩොලර් ගත්ත විට ගෙවන්න තියන මුදල් කලින්ට වඩා වැඩි නම් ඒ කියන්නෙ මහ බැංකුව විදේශ ණය පියවීමේදී එදාට වැඩියෙන් ගෙවන බවයි. මහ බැංකුව රජයේ ණය ඩොලර්වලින් ගෙව්වට රජය ඒ ප්‍රමාණය මහ බැංකුවට පියවන්න ඕන. නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම්ගේ ගිණුමට හර කරන්නේ ඒකයි. මහ බැංකුව රජයට ඩොලර්වලින් දුන්නම ණය පියවන්න ඒක නියෝජ්‍ය භාණ්‌ඩාගාර ලේකම්ගේ ගිණුමට හර කරන්නේ රුපියල් වලින් මිස ඇමෙරිකානු ඩොලර්වලින් නොවෙයි. මහ බැංකුවට තියෙන්නේ විවිධ අවස්‌ථාවලදී පුළුවන් පුළුවන් අවස්‌ථාවලදී ඩොලර් අරන් තියාගන්න. ඒ ඔක්‌කම ඩොලර්වලට ගෙවන්නේ රුපියල් වලින්. ඒ නිසා මහ බැංකුවේ විදේශ සංචිතවලින් විදේශ ණයවලට ගෙවීම් කළාට ඒ සංචිත ගොඩනඟා ගැනීම සඳහා මහ බැංකුව රුපියල් ලබා දෙන්න ඕන. දැන් පසුගියදා මහ බැංකුවට ඩොලර් බිලියන දෙකහමාරක්‌ ගත්තා. ඒක සංචිතයට එකකුකර ගත්තම ඒක හරි. ඒකෙ කිසි ගැටළුවක්‌ නෑ. එහෙත් ඒ සඳහා රජයට මුදල් දෙන්නේ රුපියල්වලින් මොකද ඒ ණය ඩොලර් වලින් ගත්තෙ රජය නිසයි.

රුපියල පිරිහීමෙන් විදේශ ණය වැඩිවෙන්නෙ නැහැ සහ මහජනයාට කිසිම බලපෑමක්‌ වෙන්නෙ නැහැ කියලා මහජනයා නොමග යවන්න පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැහැ. මහ බැංකුවයි රජයයි අයින් කරල දාලා අපි මෙහෙම හිතමු. ඔබ ඩොලර් 100 ක්‌ ණයට ගන්නවා. ගන්න විට ඩොලරයක අගයක රු. 130 යි. ඊට පසු වසර පහකට පසු ගෙවන්න වෙනකොට රු. 160 ක්‌ ගෙවන්න වෙනවා නම් ඩොලරයකට, ඒ ඩොලර් සපයා ගන්න වෙන්නෙ ඩොලරයකට රු. 160 ක්‌ ගෙවලා. එනම් ඩොලරයේ වර්තමාන අගයට තමයි ඩොලර් ගන්න වෙන්නේ. ඒ ණය පියවීමට. ඒකයි මම මෙතන කියන්නේ. ඒ නිසා ඒ ණය ගන්නවිට ඩොලරයක්‌ රු. 130 ක්‌ වුණාම ඒ ණය පියවනවිට රු. 160 ක පිරිවැයක්‌ දරන්න වෙනවා.

දැන් අපි බලමු රුපියල අතිප්‍රමාණය වුණහම වන තත්ත්වය. එහිදි රු. 130 ට ගත්ත ඩොලරයේ වටිනාකම රු. 110 ට අඩුවෙලා තිබුණා නම් ඒ අස්‌ථාවෙදි ඒ ණය පියවීමට අපට ඩොලරයක්‌ වෙනුවෙන් දරන්න වෙන්නේ රු. 110 ක්‌ පමණයි. මට අහන්න ලැබුණ වර්තමාන අධිපතිවරයා කියලා තිබුණා පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රුපියල පිරිහීමේදී පාඩුවක්‌ වෙනව නම් රුපියල අතිප්‍රමාණය වුණොත් එහිදි ඉතුරුවක්‌ වෙන්නත් ඕන කියලා. ඔව් එතකොට ඩොලර් සපයා ගන්න වැයවන රුපියල් පිsරිවැය අඩුයි. යම් යම් සාර්ව ආර්ථික හේතු නිසා අපේ රුපියල අතිප්‍රමාණය වුණොත් ණය ගත්ත පුද්ගලයට ඒ ඩොලර් ණය පියවීමට අඩුවට ඩොලර් ගන්න පුළුවන්. ඩොලර්වලින්නෙ ඒ ණය අරන් තිබුණෙ. මේ ළඟදි රජය ගත්තා බිලියන දෙකහමාරක ණයක්‌. ඒ ගනිද්දි තිබුණු විනිමය අනුපාතයට වඩා සතියකට පසු තවත් සියයට දෙකකින් රුපියල අවප්‍රමාණය වෙලා නම් එතකොට අර පොලී අනුපාතය සියයට 6.75 නොවෙයි. ඒකට එකතු කරන්න වෙනවා අර සියයට 2 ත්. මොකද එය ගෙවන වෙලාවකදි පාර්ලිමේන්තුවෙන් වෙන් කරන්න වෙන්නේ ඒ මුදලයි. වර්ෂ 2028 දි නම් පියවන්නෙ එදාට පාර්ලිමේන්තුවට වැඩිපුර සල්ලි වෙන් කරන්න වෙනවා. මම හිතන්නෙ මේ වගේ කතා කියනවාට වඩා හොඳයි මේකෙ අර්ථය තේරුම් ගන්න එක. ඒ අයට ගැටළුවක්‌ නොවෙයි නම් මටත් මේකෙ ගැටළුවක්‌ නෑ. නමුත් මෙතන ගැටළුවක්‌ තියෙනවා. රුපියල පිරිහුනහම කිසිම ප්‍රශ්නයක්‌ නෑ කියන එක මහජනයාට පිළිගන්න පුළුවන්ද? මහ බැංකුව කළ යුත්තේ මෙතන ප්‍රශ්නයක්‌ තියනව කියල පිළිඅරන් ඒ අනුව කටයුතු කිරීමයි. එහෙම නැතුව මහ බැංකුව කියනව නම් මේකෙ කිසි ප්‍රශ්නයක්‌ නෑ අපි කැමැතියි තව තවත් රුපියල අවප්‍රමාණය වෙනව නම් කියලා. එවිට වෙන්නෙ ප්‍රශ්නය තවත් සංකීර්ණ වීමයි.

මම දැක්‌ක හර්ෂ ද සිල්වත් කියල තිබුණා රුපියල පිරිහෙන එක රටට හොඳයි කියලා. එහෙනම් ඒ අයට තියෙන්නේ ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරගෙන යන එකයි. මහජනයා නම් තේරුම් ගනියි මේ කියන කතා මොන මෝඩ කතාද කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ‘Fools paradise’ කියලයි. මේ මෝඩයාගේ පාරාදීසයේ කවුරු හරි ඉන්නව නම් ඒ අය පෙළොවට පය ගහලා තේරුම් අරගෙන, මෙතන ප්‍රශ්නයක්‌ තියෙනව කියලා ඒකට උත්තර සපයා ගන්න එක තමයි කරන්න ඕන. මේක පෙන්වල දෙන අයට බැනලා ඒ අයට අංක ගණිතය දන්නෙ නෑ කියන එක නෙවෙයි මෙතන තියන ප්‍රශ්නය. මට බැන්නට ප්‍රශ්නයක්‌ නෑ ඇත්තටම. මං දැං විවේක සුවයෙන් ඉන්න පුද්ගලයෙක්‌. ඒ නිසා මට කවුරු හරි බැන්නට ප්‍රශ්නයක්‌ නෑ. ඒත් මම මේ රටට ආදරය කරන පුද්ගලයෙක්‌. මම දන්නව මේකෙ විපාකය. මේක පෙන්වල දෙනවිට ඒ අයට පේන්නෙ අංක ගණිතමය වැරැද්දක්‌ ලෙස නම් ඒ අයට එහෙම හිතාගෙන හිටියාට මට කරන්න දෙයක්‌ නෑ. මම ඒ ගැන වෙහෙසෙන්නෙත් නෑ.
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *