ආණ්ඩුව පෙරළන්න ඒකාබද්ධය හා 16 කණ්ඩායම අතර සාකච්ඡා

ආණ්ඩුව පෙරළන්න ඒකාබද්ධය හා 16 කණ්ඩායම අතර සාකච්ඡා

කාලෙකට පසුව එකට අසුන් ගැනීමට ලැබුණු සතුටෙන් දේශපාලන කණ්ඩායම් දෙකක සාමාජිකයන් පිරිසක් ඊයේ (09දා) දින පාර්ලිමේන්තුවේ මැතිසබය තුළ දක්නට ලැබිණි.

එම කණ්ඩායම් දෙක ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 16 දෙනාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව මැතිසබයට පැහැදිලි කිරීමක් සිදු කරන ලද්දේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක විසිනි.
පෞද්ගලික පැහැදිලි කිරීමක් වශයෙන් එස්.බී. දිසානායක එම පැහැදිලි කිරීම සිදු කළේ තම කණ්ඩායමට ආණ්ඩුවේ කිසිවකු සමඟ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බවයි.

අපේ 16 දෙනා හෘද සාක්ෂියට එකඟව යම් තීන්දුවක් ගත්තා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් ඉතා උණුසුම් ආකාරයෙන් අපව පිළිගත්තා. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, චන්ද්‍රසිරි ගජධීර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනාට අපගේ ගෞරවය හිමි වෙනවා” යනුවෙන් එස්.බී. දිසානායක මුලින්ම සිදු කළේ තම කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලබාදීම සම්බන්ධයෙන් තම ගෞරවය පුද කිරීමයි.
විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකටද වචනයක් කතා කිරීමට එස්.බී. දිසානායක අමතක නොකළේය.

“ආර්. සම්පන්දන් හා අනුර කුමාර දිසානායක මහත්වරුන් සමඟ විපක්ෂයේ භූමිකාව නියමාකාරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද එස්.බී. දිසානායක පැවැසීය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද යමක් ප්‍රකාශ කිරීමට එස්.බී. දිසානායක අමතක නොකළේය.
“රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් ප්‍රබලව චෝදනා එල්ල කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීමයි. ඒක නිසා හෘද සාක්ෂියට එකඟව අපට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්න සිදුවුණා” යනුවෙන්ද එස්.බී. දිසානායක විසින් පෙන්වා දෙන ලදී.

මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අභියෝගයක් එල්ල කිරීමටද එස්.බී. දිසානායක අමතක නොකළේය.

“සමෘද්ධි සංවර්ධන අරමුදලේ රුපියල් කෝටි 675ක් නැතිවෙලා කියලා අගමැතිතුමා චෝදනා කළා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්. මේ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒක නිසා මං කියනවා වහාම මේ චෝදනාව ගැන
පරීක්ෂණයක් පවත්වන්න කියලා. මං ඕනෑම පරීක්ෂණයකට මුහුණදෙන්න ලෑස්තියි.” යනුවෙන් උස් හ¾ඩින් ප්‍රකාශ කරමින් එස්.බී. දිසානායක මහතා සිය පැහැදිලි කිරීම අවසන් කළේය.

එස්.බී. දිසානායකගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන්ද ලැබුණේ ඉතා උණුසුම් ප්‍රතිචාරයකි. ඔවුහු මේසවලට තට්ටු කරමින් ඔවුන්ගේ ප්‍රසාදය පළ කළහ.

මේ සමඟම නැඟී සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර විමසූ ප්‍රශ්නයකින් මැති සබය උණුසුම් වන්නට විය.

“දැන් මේ මන්ත්‍රිවරුන් විපක්ෂයට ගිහිල්ලා තියෙන නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයේ පුරප්පාඩුවක් පවතිනවාද?” යනුවෙන් නලින් බණ්ඩාර මූලාසනයේ සිටි කථානායක කරු ජයසූය මහතාගෙන් විමසා සිටින ලදී.

“තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අතිගරු ජනාධිපතිතුමාට යැව්වට ජනාධිපතිතුමා එය පිළිගත් බවට කිසිදු දැනුම්දීමක් සිදු කර නැහැ” යනුවෙන් කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊට ප්‍රතිචාර දක්වන ලදී.
නලින් බණ්ඩාරට පිළිතුරක් ලබාදීමට ඒ සමඟම නැඟී සිටියේ එස්.බී. දිසානායකය.

“මේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් විපක්ෂයේ නියෝජිතයනුත් ඉඳලා තියෙනවා. නියෝජ්‍ය කථානායකවරුන් නියෝජ්‍ය කාරක සභා සභාපති වශයෙනුත් විපක්ෂයේ නියෝජිතයන් ඉඳලා තියෙනවා. දැනුත් නියෝජ්‍ය කාරක සභා සභාපති වශයෙන් කටයුතු කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. ඒක නිසා තිලංගට වුවමනා නම් අපේ පක්ෂයට වුවමනා නම් නියෝජ්‍ය කථානායක ධුරය දිගටම තියාගන්න පුළුවන්” කියමින් එස්.බී. දිසානායක තරමක් වේගවත්ව ප්‍රකාශ කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය.
“තිලංග සුමතිපාල මහතා දිගටම ඉන්නවා නම් අපිත් කැමැතියි” ඇසෙන නෑසෙන ගානට නලින් බණ්ඩාර ප්‍රකාශ කළේය.
එම කතාබහෙන් පසුව තවත් කතාබහක් මැතිසබය තුළ ආරම්භ කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතා කරන ලද නිවේදනයක් සමඟය.

“විද්‍යුත් ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේදී
සිදුවූ දෝෂය ගැන සොයා බැලූ කමිටු වාර්තාව ලැබී තිබෙනවා. එම කමිටු වාර්තාවේ නිර්දේශ අනුව අද සිට එම විද්‍යුත් ක්‍රමයෙන් සිදු කෙරෙන ඡන්ද ක්‍රමය ක්‍රියාත්මකයි. යනුවෙන් කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
‘එදා මොකක්ද මේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේ සිදුවූ දෝෂය කුමක්ද? කියලා අපි දැනගන්න කැමැතියි. ගරු කථානායකතුමනි’ යනුවෙන් විමසා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ බන්දුල ගුණවර්ධනය.

‘නොම්මර 1යි, නොම්මර 2යි එකට සම්බන්ධ වෙලා තමයි එම ගැටලුව සිදුවුණේ. නමුත් ඒ දෝෂයත් නිවැරැදි කරලා තියෙන්නේ’ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රතිචාර දැක්විය.

‘ඒ කියන්නේ වයර් දෙකක් මාට්ටු කරලාද? මේගොල්ලන්ගේ නම් වයර් මාරු වෙලා’ යනුවෙන් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ආණ්ඩු පක්‍ෂය දෙසට අත දිගු කරමින්ය.

ඒ සමඟම නැඟීසිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශය.
’16 දෙනෙක් විපක්‍ෂයට පැමිණීමත් සමඟම අපේ සේරම පුටු මාරුවෙලා තියෙන්නේ. ඔය ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයට අවශ්‍ය කරන සේරම ගැජට්, බැජට් මේ හැම එකකටම හරියට හයි කරලා තියෙනවාද? යනුවෙන් විමල් වීරවංශ විමසා සිටියේය.

ඒ සියලුම දේවල් නිවැරැදිව සවිකර තිබෙන බවටත් විද්‍යුත් ඡන්ද ක්‍රමය නිවැරැදිව සිදුවන බවටත් කථානායක කරු ජයසූරිය මහතා විසින් සහතිකයක් මැති සබයට ලබාදෙන ලදී.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ යම් උණුසුම්කාරී තත්ත්වයක් මතු වූයේ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම විවාද කිරීම ආරම්භ කරනවාත් සමඟය.

මීට ප්‍රථමයෙන් විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ ප්‍රකාශ කළේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී මෙම පනත ගැන නිසියාකාරව සාකච්ඡා කර නොමැති බවයි.

‘ආංශික අධීක්‍ෂණ කමිටුවේ වාර්තාව ලැබිලා නෑ. ඒක නිසා මෙම පනත විවාදයට ගන්න බෑ’ විමල් වීරවංශ පෙන්වා දුන්නේය.

‘මන්ත්‍රිතුමා ආංශික අධීක්‍ෂණ කමිටුවේ වාර්තාව මේසය උඩ තියෙනවා’ ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ඊට ප්‍රතිචාර දක්වන ලදී.

‘මේ ආංශික අධීක්‍ෂණ කාරක සභා වලංගු වෙන්නේ නෑ. නව පාර්ලිමේන්තු සැසිවාරයත් සමඟම මේ සියලුම කමිටු කාරක සභා අහෝසි වෙනවා’ යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

‘පාර්ලිමේන්තුවේ සියලුම කමිටු හා කාරක සභා මේ නව සැසිවාරය හේතුවෙන් අවලංගු වෙනවාද? යනුවෙන් විමසා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ වාසුදේව නානායක්කාරය.

‘මේ පනතට බය වෙලා ඉන්නේ හොරුන්’ යනුවෙන් කෑගසමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමය.

‘මේ කරන්නේ දේශපාලන දඩයමක්. දේශපාලන පළිගැනීම් සිදු කරලා දඩයම් කිරීම යහපාලනයද?’ යනුවෙන් අජිත් මාන්නප්පෙරුමට කෑගසමින් ප්‍රතිචාර දැක්වූයේ විමල් වීරවංශ, රංජිත් සොයිසා සහ ෂෙහාන් සේමසිංහ යන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ය.

මේ කෑ කෝ ගැසීම් නිසා මැතිසබය තුළ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

නව සැසිවාරය ආරම්භ කෙරුණද ආංශික අධීක්‍ෂණ කමිටු අහෝසි නොවන නිසා මෙම විවාදය ඉදිරියට සිදු කරගෙන යා හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. ඒ සමඟම එම උණුසුම් කතාබහද පහව ගියේය.

සද්භාවයකින් යුක්තව මෙම පනත් කෙටුම්පත ගෙන එනවා නම් සියලුම බරපතළ නඩු ඊට යොමු කළ යුතු බව විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දුන්නේය.

‘එක දිගට දින 45ක් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩු අහද්දී මං නීතිඥයකු වශයෙන් එම නඩුවට පෙනී සිටියා. ඒක තමයි පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ නඩුව. මේ පවතින නීතිය යටතේ එදා එහෙම නඩු ඇහුවා. ඒක නිසා අලුත් නීති ගෙනල්ලා හොරු අල්ලන වැඩේ උසාවියට භාර දෙන්න එපා. හොරු අල්ලන්න ඕන පොලිසිය. හොරුන් බවට ඔප්පු කර දඬුවම් ලබාදිය යුත්තේ අධිකරණය විසින්’ යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත විවාදයට එක් වෙමින් කියා සිටියේය. මෙම විවාදය අතුරතුරදී විමල් වීරවංශ කිහිප අවස්ථාවකදීම නැඟීසිටිමින් ප්‍රකාශ කළේ විජිතපුර නිදන් හොරුන් මෙම අධිකරණවලට ගෙන එනවද? කියායි

ඊට ආණ්ඩු පක්‍ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. සුසිල් ප්‍රේමජයන්ත තම විවාදයේදී තවත් කරුණක් මතු කළේය.
‘මේ අධිකරණයේ අවශ්‍ය නම් මුලින්ම අහන්නේ බැඳුම්කර වංචාවේ නඩුව කියලා අධිකරණ අමාත්‍යතුමිය ප්‍රකාශ කළා. බැඳුම්කර නඩුව අහන්න නම්

පළමු විත්තිකරු කෝ? පළමු විත්තිකරුව අල්ලන්න ඕන ආණ්ඩුවෙනුයි. ඒක කරන්න ගිහිල්ලා තමයි අපි මේ පැත්තට ආවේ. තවත් අය ළඟදීම මේ පැත්තට එන්න ඉන්නවා’ යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
උපුටා ගැනිම–මවිබිම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *