ආණ්ඩුවක් විදිහට එම් සී සී ගිවිසුම අත්සන් නොකරන බවට.සහතික වෙනවා–නිමල් ලාන්සා

ආණ්ඩුවක් විදිහට එම් සී සී ගිවිසුම අත්සන් නොකරන බවට.සහතික වෙනවා–නිමල් ලාන්සා

ඔහු මේ බව ප්‍රකාශ කළේ කටාන ප්‍රදේශයේ පැවැති රැස්වීම් වලට එක්වෙමිනි.

රනිල් පිල ආර්ථික ඝාතනයට සම්බන්ධයි
සජිත් පිල පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි

— ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක නිමල් ලාන්සා

සජිත් මහත්තයා වේදිකාවක් ගානේ දැන් කියන්නේ විසිදාහක් දෙන කතාවක්. කතා කරන්නේ ඊයේ පෙරේදා ඉපදිලා වගේ. පාස්කු ප්‍රහාරය නිසා සදාකාලිකව ආබාධිත වූ අයටවත් විසි දාහක් දාහක් දුන්නද? තවම ජීවිතයත් ජිවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අදාළ වන්දිය වත් දුන්නද? අර සාලාව ගිනි ගත්තා. ඒ අයට තවමත් වන්දියක් ගෙවා ගන්න බැරි වුණා. කුණු කන්දට යටවුණු ඒ අහිංසක මිනිස්සුන්ට වන්දිය ගෙව්වද?. ඒකවත් කරගන්න බැරි මිනිස්සු 20000 ක් ගැන කතා කරනවා.

සජිත් මහත්තයා කියනවා මට ඝෝටාභය ජනාධිපතිතුමා සමග වැඩ කරන්නට පුළුවන්ලු අගමැති වෙලා. නියමෙට තියෙයි. ගෝඨාභය කියන්නේ කවුද? නිසි නායකත්වයක්, නිසි වැඩ පිළිවෙළක්, නිසි දැක්මක් තියෙන නායකයෙක්. සජිත් කියන්නේ කවුද? විහිලු කතළු කතා කියන, ගොං කතා කියන, කියන කිසි දෙයක අර්ථයක් නැති හිස් නායකයෙක්. ඉතින් කොහොමද ඒ දෙන්නා එකට යන්නේ?

සජිත් මහත්තයා කියන කතා ගැන ටිකක් හිතලා බලන්න. එයාගෙ මෝටර් එක හොඳයිලු, එයාගෙ එන්ජින් එක හොඳයිලු. අපට වැඩක් තියෙනවාද එයාගේ මෝටරෙන්? එයාගෙ ඩයිනමෝ එක හොඳයි ලු. ඒක හොද ඇති එයාගේ කාට හරි. රටේ මිනිස්සුන්ට අවශ්‍ය ඕවා නෙමෙයි. රටට නිසි නායකත්වයක්.

කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකය කඩා වැටෙද්දී, ලෝකය රැකියා සීයට 35 ක් අහිමි වෙද්දී, මිනිස්සුන්ගෙ පඩිපත අඩු වෙද්දි, එ් බලපෑම අපටත් එල්ල වෙනවා. එහෙම නම් මේ ආර්ථිකය ගොඩ නඟන වැඩපිළිවෙළක් ගැනයි නායකයො කතා කරන්නට ඕනෑ. ඒත් සජිත් කියන කතා වලට මේ රටේ පුංචි දරුවෝ පවා හිනා වෙනවා.

එක වතාවක් කිව්වා මිනිස්සු ඉන්නෙ සැපෙන් ද කියලා බලන්න රෑට රෑට ගෙවල් වලට එනවා කියලා. මිනිස්සු වැඩට යනවා ද බලන්න පාන්දර 3.30 ට එනවා කියලා කිව්වා. අර ෆේස්බුක් වල දාලා තිබුණා එතුමට නිදන් චෝදනාවකුත් තියෙන නිසා රෑට පාන්දරට එන්නේ ඒ පුරුද්දට ද කියලා. එතුමා කියන්නේ කරන්න බැරි දේවල්.

මම පාර්ලිමේන්තු යන්න ඉස්සර හිතුවේ ප්‍රේමදාස මහත්තයාගේ පුතා නිසා සජිත් කියන්නේ නියම වැඩ්ඩෙක් කියලා. හැබැයි ගියාට පස්සේ , එයා කතා බහ කරද්දි, කමිටු රැස්වීම් වලට යද්දි තේරුනා එයාට මොකක් හරි අවුලක් තියෙන බව. එයා කතා කරන්නේ විෂයට අදාල දේවල් නෙමෙයි. මමත් ඉතින් එතුමා හම්බුනාම “හා අනාගත නායක තුමා” කියලා පිටට තට්ටුවක් දානවා. එතකොට එතුමා විනාඩි හතලිස් පහක් මා එක්ක හිටගෙනම කතා කරනවා. ඔය වැඩක් නැති වෙලාවට එතුමාගේ පිටට තට්ටුවක් දාන්න. විනාඩි 45ක් කතා කරයි.

ඝෝටාභය ජනාධිපතිතුමා විහිළු කතා කියනවද? මෝඩ කතා කියනවද? එතුමා කියන්නේ වැඩපිළිවෙළක් ගැන. ප්‍රායෝගික දේවල් ගැන.

දැන් බලන්න එම් සී සී ගිවිසුම ගැන. ඔය සජිත්ලගෙ එජාපය නෙමෙයිද ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගතවෙලා රට මේ තරම් අමාරුවෙ දැම්මෙ? දැන් ඒ ගිවිසුමෙන් අයින් වෙන්න විශාල වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් විදිහට එම් සී සී ගිවිසුම අත්සන් නොකරන බවට.

සජිත් දවල් හීන දකිමින් ඉන්නවා. ජනාධිපතිවරණයේ දිත් දීත් එතුමා ඔහොම තමයි හිතුවෙ. එදා කිව්වේ ලක්ෂ 15 ක ට වඩා වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කරනවා කියලා. එතුමා කට ඇරපු ගමන් තියෙන ඡන්ද ටිකත් නැති වෙන එකයි වෙන්නේ.

දැන් ජනහමු දාහක් තියෙන බව කියාගෙන යනවා. තියන රැස්වීම් ගණනින් මැතිවරණ ජයග්‍රහණය දෙනවා නම් ඒක ගැලපෙනවා. රැස්වීම් දාහක් තියා ලක්ෂයක් තිබ්බත් සජිත් කියන කතා වල කිසි තේරුමක් නැති බව රටම දන්නවා. සජිත් තමන්ගේ දේශපාලන ඉතිහාසය තුල ලබන ලොකුම පරාජය මෙවර ලබන බව මම මගේ මන්ත්‍රී ධූරයත් ඔට්ටුවට තියලා කියනවා

මේ රටේ මෑත කාලයේ ඝාතන දෙකක් සිද්ධ වුණා. එකක් තමයි රනිල්ලා විසින් මහ බැංකුව මංකොල්ල කාලා ආර්ථිකය ඝාතනය කරපු එක. සජිත්ගේ පිලේ ඉන්නෙ පාස්කු පුහාරයට සම්බන්ධ අය. ඒ ඝාතනය තමයි අනිත් එක. රනිල්ටවත් සජිත්ටවත් රටේ ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් ද? අපි යන කොට එයාලට දීලා ගියේ ආර්ථික සංවර්ධන වේගය 7.6 ක් ක් තිබූ රටක්. එයාලා ඒක 1.2 ට බැස්සුවා. දැන් එයාලාටම ඒක අමතක වෙලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *