අහුන්ගල්ලේ හිමිනමක් සාමනේර හිමිනමට පහරදී රෝහලේ

භික්ෂූන් වහන්සේගේ තැලීම් තුවාල රැසක්ම තිබෙන බව

අහුන්ගල්ල, කැකිරිවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ නමකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (18) අහුන්ගල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසියෙන් විමසූ විට 119 හරහා පැමිණිල්ලක් ලැබුණ බව අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකාර භික්ෂූන් වහන්සේ අත් අඩංගුවට ගැනීමට මෙතෙක් ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුල විරෝධයක්ද මතු වෙමින් තිබේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ සාමනේර භික්ෂූන් වහන්සේ ප්‍රතිකාර සදහා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. භික්ෂූන් වහන්සේගේ තැලීම් තුවාල රැසක්ම තිබෙන බව බළපිටිය මූලික රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. අද  (20) සවස 4.00 වන විටත් පහර කෑමට ලක් වූ භික්ෂූන් වහන්සේ බළපිටිය මූලික රෝහලේ 01 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

වයස අවුරුදු 10 කටත් වඩා අඩු කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ නමකට මෙසේ අමානුෂික පහර දී තිබෙන බව විහාරස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මෙම පහර දීම සිදුකර ඇත්තේ අහුන්ගල්ල නගරයේ පිහිටි ප්‍රධානතම මහ විද්‍යාලයක ආචාර්යය වරයෙකුද ලෙස සේවය කරන අහුන්ගල්ල, කැකිරිවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් විසින් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

සාමනේර භික්ෂූන් වහන්සේට වයරයක් හෝ පටියක් වැනි යමකින් විශාල වශයෙන් පහර දී තිබෙන බවත් පිටේ හා හිසේ තැලීම් පහරවල් රැසක් තිබෙන බවත් සිදු වීමෙන් පසු සාමනේර භික්ෂූන් වහන්සේගේ තැලීම් තුවාල නිරීක්ෂණය කල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. මෙම තැලීම් තුවාල අහුන්ගල්ල, මාදොඹේ ප්‍රදේශයේ ජෝතිෂය කටයුතු වල නිරත අයෙකු හා තවත් කීප දෙනෙකු විසින්ම ඡායාරූපයටද නගා ඇති බවත් දැන ගන්නට තිබේ.

මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීම සදහා ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා කීප නමක් අහුන්ගල්ල පොලීසියටද දැඩි බලපෑමක් කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ නිසාම අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අතර මග නවතා තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කළේය. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ සාමනේර භික්ෂූන් වහන්සේගේ පියා බීමත්ව පැමිණ පහර දී තිබෙන බවයි. මෙය සාවද්‍ය ප්‍රකාශයක් බව දැන දැනම වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ බලපෑම මත පරීක්ෂණ නතර කරන්නට සිදු වූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම සාමනේර භික්ෂූන් වහන්සේ මව්පිය සෙනෙහස අහිමිව මහණ කර තිබෙන අයෙකු බවටද ප්‍රදේශවාසීන් සදහන් කරයි. ඒ නිසාම පියා බීමත්ව පහර දුන්නේ යැයි කරන ප්‍රකාශය බැහැර කල හැකි බවද ප්‍රදේශවාසීන්ගේ මතයයි.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් විසින් ද පොලීසියට පැමිණිලි කල යුතු වුවත් එසේ කළේද යන්න නිශ්චිතව තොරතුරු දැන ගැනීමට නැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරිය හෝ විධිමත් පරීක්ෂණයක් කල යුතු බවත් එසේ නොකල හොත් මෙවන් සිදුවීම් තව තවත් සිදුවිය හැකි බවත් ප්‍රදේශවාසීන් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *