අලුත්වැඩියා කරමින් සිටිය ලොරියට යටවූ මංජුලගේ අනුවේදනීය කථාව

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඇල්පිටිය, අළුත්ගම පාරේ පිහිටි ගරාජයක මෝටර් කාර්මිකයෙකු ලෙස සේවය කරන අයෙකු ලොරි රථයක් අළුත්වැඩියා කරමින් සිටියදී එම ලොරි රථයටම යට වී ඊයේ (24) සවස මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ඉලන්දාරිදේව මංජුල ගුණවර්ධන (24) නැමැති අයයි.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක අනුර ඕපාත මහතා විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එල් එච් ඒ එස් කුමාර මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී අද (25) දින පවත්වන ලදී. ලොරි රථයට යට වීමෙන් හිසට හා මොලයට සිදු වූ බරපතල හානි හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

ඇල්පිටිය, අළුත්ගම පාරේ පිහිටි චමින්ද ගරාජ් ආයතනයේදී ඊයේ (24) සවස 1.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. මියගිය අය ලොරි රථයකට ජැක් ලීවරයක් සවිකර ලොරි රථය මදක් ඔසවා රෝදයක් ගලවා තිබෙන අතර එයින් පසු පහත් වී එම ලොරි රථයේ යම් අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිට ඇත. එක වරම ලොරි රථය ඔසවන ලද ජැක් ලීවරය ලිස්සා ගැලවී ගොස් තිබෙන අතර ඒත් එක්කම ලොරි රථය බිමට පාත් වී තිබෙන බවත් එහිදී කාර්මික කටයුත්තක නිරව සිටි මෙම කාර්මිකයා ලොරි රථයට යට වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ලොරි රථය ඉහළට ඔසවන ලද ජැක් ලීවරය හරි හැටි හොදින් සවි වූ සම්බන්ධයක් තිබී නොමැති අතර එම නිසාම ජැක් ලීවරය ලිස්සා ගැලවී ගොස් තිබෙන බවත් මියගිය අය මීට මාස 10 කට පමණ පෙර විවාහ වී තිබෙන බවත් ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අනතුරින් බරපතල තුවාල මියගිය අය ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවද ඇල්පිටිය පොලීසියේ එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මියගිය අයගේ බිරිද වන යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ලසිකා රෝෂිණී වික්‍රමතිලක (24) මහත්මිය මෙසේ කීවාය.

අපි විවාහ වෙලා මාස 10 ක් වෙනවා. ස්වාමිපරුෂයා අරක්කු සිගරැට් බොන්නේ නැහැ. සෑම දිනකම වගේ ඔහු චමින්ද ගරාජ් එකේ වැඩට යනවා. හවසට වැඩ අවසන් වෙලා ගෙදර එන්නේ. හවස 4.00, 5.00, 6.00, 7.00 වගේ වෙලාවල් වලට වැඩ අවසන් වෙලා ගෙදර එනවා. වැඩ තිබෙන පරිදි සේවය අවසන් කරන වෙලාව වෙනස් වෙනවා. ත්‍රීවීල් එකේ වැඩට යන්නේ එන්නේ. සිද්ධිය වූ දිනයේත් ත්‍රීවීල් එකේ වැඩට ගියේ. මහත්තයට අනතුරක් වෙලා කියල ගරාජ් එකෙන් දැනුම් දුන්නා. පස්සේ ඇල්පිටිය රෝහලට යද්දී මහත්තයා මිය ගොස් ඇති බව දැන ගත්තා.

ඇල්පිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස්, පොලිස් සැරයන් චන්ද්‍රපාල (54855) පොලිස් පරීක්ෂණ හා හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *