අපොස සාපෙළ විභාගයට සුදානමින් කරන්දෙණියේ සිසුවෙකු දියේ ගිලී මරුට

පැසැල් සිසුන් 06 දෙනෙකු රන්දෙණිගම ප්‍රදේශයේ පිහිටි වැවේ දිය නෑමට ගොස්

කරන්දෙණියේ කුඩා වැවක දිය නෑමට ගිය කරන්දෙණිය මධ්‍ය මහ විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකු  දියේ ගිලී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එගොඩවෙළ, කරන්දෙණිය ලිපිනයේ පදිංචි කුමාරවඩුගේ ඉෂාන් ප්‍රමෝද්‍ය (16) නැමැති පැසැල් සිසුවාය.මියගිය පැසැල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය, වතුගෙදර හදිසි මරණ පරීක්ෂක කරුණාසේන මලවිගේ මහතා විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඉෂාරී ප්‍රනාන්දු මහත්මිය විසින්  බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

මියගිය පැසැල් සිසුවා මෙවර අපොස (සාපෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකු බව කරන්දෙණිය පොලීසිය කියයි.

මියගිය සිසුවා  තමන්ගේ යහළුවන් වන තවත් පැසැල් සිසුන් 06 දෙනෙකු සමග කරන්දෙණිය, රන්දෙණිගම ප්‍රදේශයේ පිහිටි කුඩා වැවේ දිය නෑමට ගොස් තිබේ. මෙම කුඩා වැව තේවතු වලට ජලය ලබා ගැනීම සදහා සකසන ලද එකක් බවත් එය කොහිල වගුර යුද්ධ හමුදා කදවුර ආසන්නයේ පිහිටා තිබෙන බවත් කරන්දෙණිය පොලීසිය කියයි. මෙම වැව ඇලක් හරහා බළපිටිය මාදුගගට සම්බන්ධ වන බවද කරන්දෙණිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පාසැල් සිසුවෙකු මියගොස් තිබෙන බවට  119 හදිසි ඇමතුම් ඒකකයට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මෙම සිද්ධිය ප.ව 1.30 – 2.00 ත් අතර සිදු වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මෙසේ දිය නෑමට ගිය සිසුන් 06 දෙනාටම පිහිනන්නට නොහැකි බවත් මෙම සිසුවා එසේ තිබියදී වැවේ එගොඩට පිහිනන්නට ගොස් වැව මැද මඩේ එරී මරණයට පත්ව තිබෙන බවත් පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ. සිසුවා මඩේ එරීමෙන් පසු අනෙක් සිසුන් 05 දෙනා ඔහු බේරාගන්නට උත්සාහ කළානම් ඇතැම් විට ඔහු බේරා ගන්නට හැකිව තිබූ බවත් බිය හා පිහිනීමට නොහැකි වීම නිසා එසේ නොකරන්ට ඇතැයි විශ්වාස කර හැකි බවත් කරන්දෙණිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පසුව ප්‍රදේශයේ වැඩිහිටියන් දෙදෙනකු පැමිණ සිසුවා ගොඩට ගෙන කරන්දෙණිය, බොරකන්ද රෝහලට ඇතුලත් කර තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. ඒ වන විටත් සිසුවා මියගොස් තිබූ බවද කරන්දෙණිය, බොරකන්ද රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *