අපේ විශ්ව විද්‍යාල තුල ප්‍රචන්ඩත්වය හා ලිංගික හිරිහැර කිරීම් පවා සිදු වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බළපිටියේදී ප්‍රකාශ කළේය.

අපේ විශ්ව විද්‍යාල තුල ප්‍රචන්ඩත්වය ඉතා ඉහළයි. ලිංගික හිරිහැර කිරීම් පවා විශාල වශයෙන් සිදු වෙනවා. අපේ විශ්ව විද්‍යාල අද අපිට ඛේදවාචකයක් වෙලා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) බළපිටියේදී ප්‍රකාශ කළේය.

අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය සම්පතක් නමුත් සංචාරක ව්‍යාපාරය, විෂ මත්දව්‍ය ව්‍යාප්තියටත් හේතු වි තිබෙන බවද මෙහිදි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බළපිටිය, රේවත ජාතික පාසැලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මීට සමගාමීව ලගම පාසැල හොදම පාසැල සංකල්පය යටතේ ඉදිකරන ලද පුස්තකාලය සහිත තාක්ෂණික විද්‍යාගාරය සහ තාක්ෂණික හා උපදේශන ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණි. එයට අමතරව රේවත විදුහලේ වෙබ් පිටුව අන්තර්ජාලයට මුදා හැරීමද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කිය.

මම, අද ඉතාමත් සතුටු වෙනවා, ලෝක ළමා දිනය දවසේ බළපිටිය රේවතයට ඇවිල්ලා මේ පින්වත් දරුවන් සමග කාලය ගත කරන්න ලැබීම පිළිබදව. ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (01) සවස කොළඹ තිබෙනවා. එහෙම තිබෙද්දීයි, උදේ වරුවේ කොළඹින් පිට බළපිටියට ආවේ.

බළපිටිය, රේවත පාසැලේ විශේෂත්වයක් පිළිබදව විදුහල්පති ඩී සිරිනන්ද මහත්මයා එතුමාගේ කතාවෙදී කිව්වා. සිංහල දරුවන් වගේම මුස්ලිම් දරුවන් සහෝදරත්වයෙන් මේ පාසැලේ ඉගෙන ගන්නා බව විදුහල්පතිතුමා කිව්වා. ජාතික සංහිදියාවට රේවතයෙන් දෙන්නේ කදිම ආදර්ශයක්. ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්ද මම, මේ පැසැලේදී දුටුවා. අද අපේ රටේ කාන්තා ජනගහනය 52% ක්. රජයේ කාර්යාලයකට ගියත්, වෙනත් ඕනෑම කාර්යාලයකට ගියත් පාසැලක ගුරුවරු ගත්තත් කාන්තා ප්‍රතිශතය වැඩියි. නමුත් මේ පාසැලේ ඉගෙන ගන්නා ළමුන්ගෙන් 1500 ක් පිරිමි වන විට ගැහැණු ළමුන් ඉන්නේ 1400 ක් පමණයි.

දරුවනේ මේ දවස ඔබේ දවස. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය කියල අද (01) දවස වෙන් කළේ ඇයි කියල බලන්න ඕනෑ. වසරේ දවස් 365 න් විශේෂිත දිනයක් ඒ සදහා වෙන් කළේ ඇයි කියල වැදගත් වෙනවා. එසේ කළේ සියල්ලන්ටම වඩා ළමයින් වැදගත් වන නිසයි. දරුවන්ටත් ප්‍රශ්ණ තිබෙනවා. මීට පෙර කතාකල අසෝක ධනවංශ, දයාරත්න මහත්වරුන් පාසැලේ ප්‍රශ්ණ ගැන කිව්වා. ලොකේ කොහේවත් ප්‍රශ්ණ නැති තැනක් නැහැ.

සියළු ආගම් වල ආධ්‍යාත්මක දර්ශණයක් පැහැදිලිකර තිබෙනවා. දරුවන්ගේ, පුද්ගලයින්ගේ පරිසරයේ ප්‍රශ්ණ විසදන විදිය ඒ මගින් පෙන්වා තිබෙනවා. දරුවන්ගේ ප්‍රශ්ණ පිළිබදව අවධානය යොමු කිරීම සියළු ආගම්වල වගකීමක්. ඉතා වැදගත් වන්නේ දරුවන්ගේ සුරක්ෂිතභාවයයි. දෙමාපියන් දරුවන් සම්බන්ධයෙන් වැඩිම කාලයක් මුහුණ දෙන ප්‍රශ්ණයත් ඒකයි. දරුවන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වාර්තා වන්නේ මානසික හා කායික ප්‍රශ්ණයි.

දරුවන්ට ලැබෙන ආදරයේ ප්‍රමාණය සම්බන්ධයෙන් වු ප්‍රශ්ණය ඉතා වැදගත්. දරුවාට ආදරය කිරීම, ඉතා වැදගත් වෙනවා. ජනාධිපති තනතුර, මැති ඇමති තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකකම් වලට වඩා වැදගත් වෙන්නේ මව සහ පියා කියන තනතුරු දෙකයි. දරුවන් දෙමාපියන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණය තීරණය වෙන්නේ දෙමාපියන් දරුවන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණයෙන්. දෙමාපියන් දරුවන් රකින බව දරුවන්ට තේරෙන්න ඕනෑ. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්ණ විසදන බවත් තේරෙන්න ඕනෑ. රටේ වෙනම ළමාරක්ෂක අධිකාරියක් මෙන්ම ළමයින් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් පවා තිබෙන්නේ ඒ නිසයි. දරුවන් රකිමු කියල මම වෙනමම ජනාධිපති කාර්යාලයෙනුත් ව්‍යාපෘතියක් කරගෙන යනවා.

රේවත විදුහගේ විදුහල්පති සිරිනන්ද මහත්මයා, පැසැලේ දරුවන්ගේ කරුණු ඇතුලත් වාර්තාවක් මට දුන්නා. අනිත් මහත්වරුන් කතාකරන අතරේ මම ඒ වාර්තාව කියෙව්වා. දරුවන් ඉදිරියට යන ආකාරය පිළිබදව අපි අවධානය යොමුකල යුතුයි. නිදහස් අධ්‍යාපනය තුල දරුවන්ට අධ්‍යාපනයේ සියළු පහසුකම් ලැබිල තිබෙනවා. සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයා ඔබේ රන්දොඹේ ප්‍රදේශයේ ඉපිද රටට දායාද කල නිදහස් අධ්‍යාපනය අපි විශාල කාලයක් ලබාගෙන තිබෙනවා. විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් වෙන්නත් විශේෂිතයින් අතර සුවිශේෂිතයින් වෙන්නත් අපි මහන්සි විය යුතුයි.

අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් ජීවිතය සමත් වීමයි ඉතා වැදගත් වෙන්නේ. විශ්ව විද්‍යාල තුලදීත් ජීවිතය සමත් වෙන්න පුරුදු පුහුණු විය යුතුයි. අපේ විශ්ව විද්‍යාල තුල ප්‍රචන්ඩත්වය ඉතා ඉහළයි. ලිංගික හිරිහැර කිරීම් පවා විශාල වශයෙන් සිදු වෙනවා. ලෝකේ කොහේවත් විශ්ව විද්‍යාලයක මේ තත්ත්වය නැහැ. දේශපාලනය විශ්ව විද්‍යාල තුලට රිංගාගෙන තිබෙනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා මේ ගැන නිතරම කියනවා. විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් හිරිහැර නිසා විශ්ව විද්‍යාලය දාල ගිහින් තිබෙනවා. අපේ විශ්ව විද්‍යාල අද අපිට ඛේදවාචකයක් වෙලා. මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් විය යුතුයි.

මත් දව්‍ය පිළිබද ප්‍රශ්ණය අපිට විශාල ගැටළුවක් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නීති විරෝධී මත් දව්‍ය, විෂ මත් දව්‍ය සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර තිබෙනවා. නමුත් සියළු ආරක්ෂක වැඩ පිළිවෙලවල් මැදින් රිංගා මත් දව්‍ය දිවයිනට එනවා. පාසැල් වලට විශ්ව විද්‍යාල වලට මත් දව්‍ය බෙදා හරින්නේ නොමිළයේ. විශ්ව විද්‍යාල සිසුන් අදින විදියට ටී ෂර්ට් එකක්, සෙරෙප්පු දෙකක් දාගෙන බෑග් එකකුත් කරේ එල්ලාගෙන ඇවිත් විශ්ව විද්‍යාල ඇතුලේ මත් දව්‍ය බෙදා හරිනවා.

මම 2015 ජනාධිපති වූ විගස මත්දව්‍ය විරෝධී වැඩ පිළිවෙල නැවත පටන් ගත්තා. මම සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් එම කටයුතු ඉටු කළා. එහි ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා. ඇමරිකාවේ හැම පාරකම හැම බස් හෝල්ට් එකකම සිගරැට් බොනවා. නමුත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථාන වල කව්රුවත් සිගරැට් බොන්නේ නැහැ. එම නිතී රීති සකස් කරන්න අපිට පුළුවන් වුණා. ඒ අතින් අපි ඉස්සරහට ඇවිත් තිබෙනවා.

අපි දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය අපිට සම්පතක්. සංචාරක ව්‍යාපාරයෙන් අපිට විශාල වශයෙන් ආදායම් ලැබෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරය විෂ මත්දව්‍ය ව්‍යාප්තියටත් හේතු වි තිබෙනවා. දරුවන් කාගේ දරුවන්ද යන්න නොව දරුවන් අපේ දරුවන් ලෙස සිතා අපි කටයුතු කල යුතුයි. මේ පැසැලේ දියුණුව සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපේ ආණ්ඩුවෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබුණ බව දයාරත්න මහතා කිව්වා. මේ පාසැලේ භෞතික සම්පත් හා මානව සම්පත් විශාල වශයෙන් දියුණු කර තිබෙනවා.

ගුරු හිගය මේ පාසැලට විතරක් නොවෙයි රටටම විශාල ප්‍රශ්ණයක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා විශාල පිරිසක් සේවය කරන්නේ පිටරට වලට. ඒ නිසා අපේ රටේ ඉංජිනේරුන් වෛද්‍යවරුන් මෙන්ම ගුරුවරුනුත් විශාල වශයෙන් හිගයි. ඔවුන් වැඩි පඩියට පහසුකම් වලට විදේශගත වෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා අපි අවම වශයෙන් වසර 10 ක් වත් රටට සේවය කරනවා කියල හිතා ගන්න ඕනෑ. වෙනත් රටවල නම් උගතුන්ට පිටරට යෑම සම්බන්ධයෙන් සීමා මායිම් තිබෙනවා. අද සමහර දරුවන් අම්මට තාත්තට වඩා පෝන් එකටයි ආදරය කරන්නේ. මේ විද්‍යාලයට අවශ්‍යව තිබෙන ක්‍රීඩා පිට්ටනියක් සහ පිහිනුම් තටාකයක් හදන්න අවශ්‍ය සැලසුම් හදල ඇස්තමේන්තුවක් හදල දෙන්න, මේ වර්ෂයේම මුදල් පාස් කරල දෙන්නම්.

දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ, බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා බළපිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ඒ දයාරත්න, විදුහල්පති ඩී සිරිනන්ද, ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලිලසේන ද සොයිසා යන මහත්වරුන්ද මෙහිදි කතා කළේය.

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, බළපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති සමන් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන්, ගුරුවරුන් අවට පාසැල්වල විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුළු ගිහි පැවදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *