අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වනු ඇත කියා – මැ.කො. සභාපති මහින්ද දේශපි‍්‍රය

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප‍්‍රකාශයකට අනුව ලබන දෙසැම්බර් මාසයේ මැතිවරණයක් පැවත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය
සභාපතිවරයා එසේ ප‍්‍රකාශ කලේ තිහාරිය අල් අසාර් විද්‍යාලයේ පැවති වැඩමුළුවක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම වැඩමුළුව සඳහා අල් අසාර් විද්‍යාලය හා අවට පාසල් රැසක උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගීවී වී සිටි අතර ප‍්‍රජාත‍්‍රන්තවාදය,සර්වජන ඡන්ද බලය හා ජනතා පරමාධිපත්‍ය පිළිබඳව දැන්වත් කිරීම මෙහිදී සදුවිය. මෙම අවස්ථාවට කැෆේ සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය ලබා දී තිබිණි.
වැඩිදුරටත් අදහස් ප‍්‍රකාශ කල සභාපතිවරයා මෙසේද පැවසීය.
අද රටේ ජනතාවටත් තරුණයන්ටත් සියළු දෙනාටත් ප‍්‍රජාත‍්‍රන්තවාදය හා ඡන්ද විමසීම පිළිබඳව උනන්දුව ආශාව නැතිව ගොස් තිබෙනවා. ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම සදහාවත් ජනතාවගේ උනන්දුවක් නැහැ. ඒකට හේතුව ඡන්දෙ නැත්නම් ලැයිස්තු මොකටද කියලා ජනතාව අහනවා. ඡන්දෙ නැත්නම් කොමිෂන් මොකටද කියලා අහනවා. නමුත් කොමිෂන් සභාවට නයා මැරුණත් වැඩ තියෙනවා. ඒක තමයි ප‍්‍රජාත‍්‍රන්තවාදය පිළිබඳව ජනතා පරමාධිපත්‍ය පිළිබඳව ජනතාව දැන්වත් කරන එක. ඒක තමයි සැබෑ ප‍්‍රජාත‍්‍රන්තවාදය. සුළුතරයකට අගතියක් නොවන පරිදී බහුතරයේ මතය ක‍්‍රියාත්මක වීම. ඒක කොයි වගේද කිව්වොත් සිංහල බහුතරයක් ඉන්න ප‍්‍රදේශයක දෙමළ භාෂාව කතා කරන සුළුතරයක් ඉන්නව නම් සම්පූර්ණයෙන්ම සිංහලෙන් වැඩකරන එක වැරදියි වගේ. ඒ වගේම තමයි දෙමළ බහුතරයක් ඉන්න තැන්වල සිංහල සුළුතරයක් ඉන්නවා නම් දෙමළෙන්ම වැඩකරනවානම් ඒකත් වැරදියි. ලංකාවේ ප‍්‍රජාත‍්‍රන්තවාදයට බලපාන ප‍්‍රධාන බාධකයක් තමයි භාෂා ද්විත්වයම භාවිතා නොකිරීම. ප‍්‍රජාත‍්‍රන්තවාදයට ගරු කරන අපි අනුන්ගේ අයිතියට ගරු කිරීමට පුරුදුවෙන්න ඕනෑ. අන්‍යන්ගේ භාෂාවට, අන්‍යන්ගේ ආගමට අන්‍යන්ගේ සංස්කෘතියට ගරු කරන්න බැරි කිසිම කෙනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් වෙන්නේ නෑ. ඒ වගේම ඉස්ලාම්යේද, ක‍්‍රිස්තු ධර්මයේද , හින්දු ධර්මයේද බුද්ධ ධර්මයේද, යන මේ සියළු ආගම් වල මේ සියළුදෙනාම සමාන බවද දේශනා කර තිබෙනවා. ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන් සමාන වන්නා වූ කරුණු දෙකක් තියෙනවා. අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනෙකුට අනිවාර්‍යන්ම හිමිවන්නේ භේදයකින් තොරව කරුණු දෙකක් පමණයි. දුප්පත්,පොහොසත්,උගත් න‍්‍රගත්, ස්ත‍්‍රී පුරුෂ, ජාතිය, ආගම, කුලය, භාෂාව, ප‍්‍රදේශය යනාදී කිසිම භේදයකින් තොරව වැඩිහිටියන්ට හිමිවන එක් දෙය තමයි මරණය. භේදයක් නැතිව හිමිවන අනික් දෙය තමයි ඡන්දය. මරණය වැළඳ ගැනීමට අකමැති අපි ඡන්දය ආදරයෙන් වැළඳ ගත යුතුයි. ඡන්ද නැති වුනත් ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීම අත්‍යවශයි. ඔබ හැමදෙනාටම සර්වජන ඡන්ද බලය ලැබෙනවා අවුරුදු 18 සම්පූර්ණ වුන වහාම. නමුත් එය ලැබෙන්නේ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කරගත්තොත් පමණයි.
පරමාධිපත්‍යට බලපාන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ඒසේ වුවත් ජනමත විචාරණයක අවශ්‍යතාවය තීරණය කල යුත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසින්. මෙම තත්ත්වය යටතේ අපිට පේනවා පරමාධිපත්‍ය කියන කරුණට ඉතා වැදගත් ස්ථානයක් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දී ඇති බව. 1998 වරුණ කරුණාතිලක හා තවත් මාධ්‍යවේදියෙක් අධිකරණයට ගියා පළාත් සභා ඡන්ද විමසීමක් කල් දැමීමට එරහිව. ඔවුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලහම මැතිවරණ දෙපාර්තමේන්තුව වෙන්වෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියා ඡන්ද බලය මූලික අයිතිවාසිකමක් නොවන බව. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඡුන්ද බලය කියන්නේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය. ඒ නිසා ඡන්ද විමසීම කල් දැමීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව. ශ්‍රේෂ්ඨාධිකරණය කුමක්ද කිව්වේ නඩු තීන්දුවේදී ? යම් පුරවැසියෙක් ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ස්වකීය ඡන්ද පති‍්‍රකාව රහස්‍ය ලෙස ලකුණු කිරීමෙන් කරන් ලබන අදහස් ප‍්‍රකාශ කිරීම , යම් තැනත්තෙකු වේදිකාවක දී කරනු ලබන ප‍්‍රසිද්ධ කතාවකින් කරන අදහස් දැක්වීමට කිසිසේත්ම දෙවනි නොවේ. ඉතාම වැදගත් දෙයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය තවත් නඩු තීන්දු කිහිපයකින්ම මේ බව ප‍්‍රකාශ කරලා තියෙනවා. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින්ට ඡන්ද විමසීමක් අවස්ථාවේදී මුදාගත් ප‍්‍රදේශ වලට ඒම වැලක්වීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා ආරක්ෂක හේතූන් මතවත් ඡන්දය දීමේ අයිතිය වැළක්විය නොහැකි බව.
අපේ මැතිවරණ කොමිෂන් සභාවේ දැක්ම කුමක්ද? එය සර්වජන ඡන්ද බලය සුරැකෙන දේශයක්. ඒ සදහා අපට සේනාංකයක් අවශ්‍යයි. ඒ සේනාංකය තමයි ජනතාව. ඒ සේනාංකයේ අවිය තමයි පැන්සල. හැබැයි අපිට ඒ අවිය පාවිච්චි කිරීමේ අවස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වනු ඇත කියා. මක්නිසාද යත් 2018 වර්ෂයේ ජනවාරි මාසය තුලදී නව සභාපතිවරුන් සහ නියෝජිතයන් යටතේ පළාත් පාලන අයතනය පාලනය වන බවට ගරු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇති බැවින් සහ මෙම පළාත් පාලන ආයතන විමසීමට අදාළ පනත් මෙම මාසය තුල සම්මත කිරීමට ක‍්‍රියාත්මක කරන බව අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රකාශ කර ඇති බැවින් , ජනවාරි මාසයේ නව සභාවක් පැවත්වීමට , දෙසැම්බර් මාසය තුල ඡන්ද විමසීම් පැවත්විය යුතුයි. ඒ සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පනත සැප්තැම්බර් 15 දිනට පෙර පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. කෙසේ වෙතත් එම පනත අගොස්තු මාසය තුල හෝ සැප්තැම්බර් මාසය තුල සම්මත කිරීමට ක‍්‍රියා කරන බව අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රකාශ කර තිබෙනවා. අපි විශ්වස කරනවා මැතිවරණ කොමිෂන් සභාවට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මුල් සතියේ පළාත් පාලන ආයතන ඡන්ද තියන්න පුළුවන් වෙයි කියලා.
මේ අවස්ථාවේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාද අදහස් දැක්වූ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර කොමසාරිස් මොහොමඞ් මහතා සහ ගම්පහ දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සමන්ත දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ
මීරිගම මනෝජ් එදිරිසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *