අනුන්ගේ කූඩුවල බිත්තර දාන්න වෙන ආණ්ඩු පක්‍ෂයක්

අනුන්ගේ කූඩුවල බිත්තර දාන්න වෙන ආණ්ඩු පක්‍ෂයක්

මෙරට පැරණිතම දේශපාලන පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂයට මෙවර මහ මැතිවරණයෙන් මහජන ඡන්දයෙන් එකදු මන්ත්‍රී ධුරයක් හෝ හිමිවූයේ නැහැ. ප්‍රසාද මන්ත්‍රී ධුරයක් මණක් හිමිව තිබෙනවා. එම මන්ත්‍රී ධුරයට ද අද වනවිටත් කිසිවෙකුත් නම්කර නැහැ. ඒ අනුව අනිද්දා මෙරට 9 වන පාර්ලිමේන්තුව රැස්වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ කිසිදු නියෝජිතයෙකු සභා ගැබ තුළ නොසිටීම ඉතිහාස ගතවන සිදුවීමක්. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්‍ෂය පිහිටවූ දා සිටම එම පක්‍ෂයේ නියෝජිතයින් පාර්ලිමේනතුවට පැමිණියා. ඒ අනුව ඉතිහාසයේ ඛේදනීයම තත්ත්වයට එක්සත් ජාතික පක්‍ෂය අද වනවිට පත්ව තිබෙනවා.

එම පක්‍ෂයේ නව නායකත්වයක් පිළිබඳව ද මේ වනවිට කතාබහක් පවතිනවා. පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත්වන බවයි පසුගිය දින කිහිපයේ ප්‍රකාශ කෙරුණේ. එහෙත් දැන් දැන් ප්‍රකාශ කරනුයේ එළඹෙන පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායක ධුරයේ රැඳී සිටින බවයි.

මේ අතර මෙරට 9 වන පාර්ලිමේන්තුව අනිද්දා රැස්වීමට නියමිතයි. අනිද්දා (20) පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වනවා. එහි මූලික කටයුත්ත ලෙස නව කතානාවකවරයා තෝරා පත්කර ගැනීමට නියමිතයි. 9 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය හැකි බව වාර්තා වනවා. කතානායකවරයා සම්ප්‍රදායානුකූලව පළඳින ඇඳුම සකස් කිරීම සඳහා අවශ්‍ය මිම්ම ආදිය ද ඒ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ලබාදී ඇති බව අප වෙත වාර්තා වනවා. එමෙන්ම ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පත්වීමට ඉඩ තිබෙනවා.

විපක්‍ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කෙරෙන අතර විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පත්වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකවරයාගේ දකුණු පසින් ආණ්ඩු පක්‍ෂය සිටිය යුතු අතර විපක්‍ෂය වම් පසින් ඇති අසුන්වල අසුන් ගන්නවා. කෙසේ වුවද තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයක් මෙවර ආණ්ඩු පක්‍ෂයට හා ආණ්ඩුවට සහාය දෙන කණ්ඩායම්වලට හිමිවීම හේතුවෙන් ආණ්ඩුවේ මහජන නියෝජිතයින්ට විපක්‍ෂයේ අසුන්වල වාඩිවීමට ද සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *