අද මේ රටේ සිදුවන දේවල් ඉතිහාසයේ කිසි දිනෙක සිදු වී නෑ–ලෝකයේම වෙසක් මැයි සමරද්දී අප්‍රේල් 29 ලංකාවෙි සමරනවා

අද මේ රටේ සිදුවන දේවල් ඉතිහාසයේ කිසි දිනෙක සිදු වී නෑ–ලෝකයේම වෙසක් මැයි සමරද්දී අප්‍රේල් 29 ලංකාවෙි සමරනවා

‘මුළු ලෝකයේම වෙසක් පොහොය දිනය මැයි මස සමරද්දී ලංකාවෙ අපි අප්‍රේල් මාසෙ 29 වැනිදා සමරනවා. ආණ්ඩුවෙන් නියම කළාම අපි කරන්නෙ සමරන එකයි. නමුත් අපේ හදවත්වලින් අපි තාමත් මැයි මාසය වෙසක් මාසය ලෙස සමරනවා’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා වාද්දුව, පොහොද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ විහාරස්ථානයේදී කීවේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

මැයි මාසේ පළමුවැනිදාට සමරන ලෝක කම්කරු දිනය පවා මැයි හත්වැනිදාට කල් දාලා තියෙනවා. වෙනසක් බලාපොරොත්තු වූ නිසා අද රටේ ජනතාවට ලොකු වෙනසක් ලැබිල තියෙනවා මේ ආකාරයේ දින වෙනස් කිරීම්වලින්. එපමණක් නොවෙයි ඉතිහාසයේ පළමු වරට පන්සල්වලට, දහම් පාසල්වලට නීති පනවල තියෙනවා. කමිටුවලින් අවසර අරගෙන පන්සල් හදන්න ලාංකිකයන්ට සිදුවෙලා තියෙනවා. මේව ලෝකෙ වෙන කොයි රටකවත් වෙන්නේ නැහැ.

අද රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටිලා. මේක බෞද්ධයාට, දායකයාට පමණක් නොව සියලු ආගමිකයන්ට, සියලු ජාතීන්ට ඉතාම අමාරු යුගයක් බවට පත්වෙලා. අද අපිට දක්නට ලැබෙන්නේ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් පළිගනිමින් අධිකරණය ඉදිරියට ගෙනයෑමේ ක්‍රියාවලියකුයි.

ඒ සඳහා මොවුන් එෆ්.සී.අයි.ඩී. කියන නීත්‍යනුකූල නොවන ආයතනය භාවිතයට ගන්නවා. මේ අධිකරණය හොඳ නැහැ. මේ අධිකරණයේ විනිසුරුවරුන්ට නඩු විසඳන්න බැහැ. ඒක නිසා මේකට පිටරටින් විනිසුරුවන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ගැන අද මතයක් ඉදිරිපත් කරනවා. මේ වගේ දේවල් ඉතිහාසයේ පෙර කවදාවත් සිදුවෙලා නැහැ. අද ඔවුන්ට ජිනීවාවලදී දුන් පොරොන්දුව ඉටුකරන්න සිදුවෙලා තියෙනවා.

රුපියල අවප්‍රමාණ වීගෙන යනවා. ආණ්ඩුව කුමන කතා කීවත් රටේ ජනතාවට විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ජනතාව මේ අපහසුතා විඳින අතරතුර ආණ්ඩුව කාඩ් කුට්ටම අනලා එකම සෙට් එක එහාට මෙහාට මාරු කරනවා. එක්සත් ජාතික පක්ෂ සංශෝධනයත් එහෙමයි. අකිල කාරියවසම් සභාපති වන බව එදා ඉඳල දන්නවා. සභාපති කබීර් හෂීම් වන බව කල් තියාම දන්නවා. මේව කවුරුත් නොදන්න දේවල් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සංශෝධන පිළිබඳ කතා කිරීම අවශ්‍ය නැහැ. ඒක එයාලගේ වැඩක්.

නමුත් මෙයාල මේවා ජනතාවට පෙන්වමින් රටේ ජනතාව විශාල ලෙස පීඩාවට පත් කරමින් සිටිනවා. ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි 16 දෙනා අපි සාදරයෙන් පිළිගන්නවා. අපි එයාල සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිරිස දාසය දෙනාගෙන් නතර වෙයිද කියලත් ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *