අත්තනගල්ල කරස්නාගල ජලාශය ඉදිකිරීමේදී අවතැන්වන පදිංචි කරුවන්ට වන්දි

අත්තනගල්ල කරස්නාගල ජලාශය ඉදිකිරීමේදී අවතැන්වන පදිංචි කරුවන්ට වන්දි ගෙවීම ට මිලියන 500 ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවට පානීය ජලය සැපයීම පිනිස කරස්නාගල ජලාශය ඉදිකිරීමේදී අවතැන්වන පදිංචි කරුවන්ට වන්දි ගෙවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් රුපියල් මිලියන 500 ක මුදලක් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙතින් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

2021 අයවැයෙන් වෙන් කරගැනීමට යටත්ව මෙම මුදල ලබා දීම පිනිස කටයුතු කරනු ලබන බවත් මෙමගින් ඉවත් කෙරෙන පිරිසට වන්දි ගෙවීම අවසන් කරමින් ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ගැටළු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කළේය.

ව්‍යාපෘතියේ පමාව පිළිබඳව පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව කමිටු සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ කමිටු ලේකම් දිසාපති සුනිල් ජයලත් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය අමාත්‍ය වරයා සහභාගි වෙමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි කටයුතු 2020 පෙබරවාරි මස 19 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුනද මෙහි ජලාශය ඉදිකිරීමේ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව මෙහිදී අනාවරණය විය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ දේහින් ධර්මපාල මහතා මෙහිදී කරුනු ඉදිරිපත් කරමින් මේ වන විට ජල ව්‍යාපෘතිය සඳහා ඉදි කෙරෙන ජල පිරිපහදුවේ ඉදිකිරීම් සියයට 70 කින් අවසන් කරමින් සහ මේ සදහා වන ජල ටැංකි ඉදිකිරීම මෙන්ම ජල නල එලීමේ කටයුතුද සිදු වෙමින් පවතින නමුත් ජලාශය ඉදිකිරීම ඇරඹීමට නොහැකිවී ඇති බවය.

ජලාශය ඉදිකිරීම පිනිස රුවන්වැල්ල සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ඉඩම් කොටස් 459 ක් අත්පත් කරගත යුතුව ඇති අතර පවුල් 97 ක් විකල්ප ස්ථාන කරා යොමු කිරීමට අවශ්‍ය බවත් මෙහිදී ප්‍රකාශ විය.

ජලාශය ඉදිකිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන අතර මේ සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුවද පිරිනමා ඇතත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් වනතුරු ජලාශයේ ඉදිකිරීම් ඇරඹීමට නොහැකිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

පවතින මෙම ප්‍රමාදය හේතුවෙන් සැලසුම් කොට ඇති පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල , මීරිගම , ගම්පහ , මිනුවන්ගොඩ සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් 443 ක ලක්ෂ තුනක පමණ ජනතාවට පානීය ජලය සැපයීම පිනිස තවත් කල් ගතවනු ඇති බව මෙහිදී ප්‍රකාශ වූයෙන් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේ පවතින ගැටළු කඩිනමින් නිරාකරණය කරමින් ව්‍යාපෘතිය අවසන් කිරීමට පියවර ගන්නා ලෙසය.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ද , අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහෙහි පළාත් පාලන ආයතන සභාපති වරුන් සහ ප්‍රාදේශීය ලේකම් වරුන්ද, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.හරිස්චන්ද්‍ර මහතාද , කෑගල්ල අතිරේක දිසාපති දිනීෂා රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදු විතානගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන යන මහත්මීන්ද , රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් මොහාන් විජේරත්න මහතා ඇතුළු අදාල ආයතන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *