අගමැතිවරයාට එරෙහි පෙත්සම 31දා විභාගයට

අගමැතිවරයාට එරෙහි පෙත්සම 31දා විභාගයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 (2) වගන්තිය ප්‍රකාරව, රාජ්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන සමාගමක ප්‍රධාන කොටස්කරුවකු වන රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට කිසිදු ආකාරයකින් හිමිකමක් හෝ අවසරයක් නොමැති බැවින් “ක්වෝ වොරන්ටෝ”(Quo Warranto) ආඥාවක් මඟින් ඔහු දරන මන්ත්‍රි ධුරය හා ඒ අනුව ලබාගෙන තිබෙන අගමැතිකමද අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකොට ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් මේ මස 31 දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අභියාචනාධිකරණය ඊයේ (22දා) නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු, අර්ජුන ඔබේසේකර මහතා නඩුවේ එම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබුණද ඇයගේ නොපැමිණීම මත ඔබේසේකර විනිසුරුවරයා හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

මෙම පෙත්සම ගොනුකොට ඇත්තේ 2002 සිට 2006 දක්වා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරියක්ව සිටි දැනට මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරියක්ව සිටින කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකයේ 30/02 ලිපිනයේ පදිංචි ෂාමිලා රොවිනා ජයවර්ධන ගෝනවල විසිනි.

ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දක්වන ලද අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටීමට නියමිත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තකට සහභාගි වන්නට සිදුව තිබීම හේතුවෙන් මෙදින පෙනීසිටීමට නොහැකි බව රජයේ නීතිඥවරයකු විසින් දැනුම් දීම මත පෙත්සම මේ මස 31 වැනි දින යළි කැඳවීමටත් එදින කරුණු දැක්වීමටත් නියෝග කෙරිණි.

රාජ්‍ය ආයතනයකට යම් සේවාවක් සපයා මුදල් උපයන අයකු හට හෝ පෞද්ගලික ආයතනයකට කොටස්කරුවකු හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීම හා පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කිරීම සහමුලින්ම තහනම්ව තිබියදීත්, අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ ඒ බැව් දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දරමින් ඒ අනුව හිමිකරගත් අගමැති ධුරයද හොබවන බවත් එය ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම ධුරයන් දැරීම “ක්වෝ වොරන්ටෝ” ආඥාවක් මඟින් අත්හිටුවන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා සිටියි.

තවද එම ධුරය දරන ලද්දාවූ සම්පූර්ණ කාලය තුළ ඔහු උපයාගන්නා ලද වැටුප්, දීමනා යනාදී සියලු ලැබීම් ආපසු ඔහුගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියම කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා ඇත.

සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රධාන කොටස්කරුවකු වන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ සතුව එම සමාගමේ කොටස් 38,964ක් පවතින බවත්, එම කොටස් හිමිකාරිත්වය මත හිමි ලාභාංශ වාර්ෂිකව ඔහු ලබා ගන්නා බවත්, ඒ බැව් තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි තමා පෙත්සම සමඟ ඉදිරිපත් කරනු ලබන බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට ඇත.

තවද ‘ලංකා බැංකුව’ හා ‘මහජන බැංකුව’ යන රාජ්‍ය බැංකු දෙකෙහි චෙක්පත් මුද්‍රණය කිරීමේ කටයුතු වගඋත්තරකරු කොටස් හිමිකාරිත්වය දරන මෙම සමාගම මඟින් සිදුකරනු ලබන බවත්, ඒ බැව් තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන හා එකී චෙක්පත් ආදර්ශද එකී බැංකු දෙකෙන් ලබාගන්නා ලද විවෘත තොරතුරුද සමාගම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ ලේඛනයන්ද පෙත්සම සමඟම ඉදිරිපත් කොට ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි.

එමෙන්ම මෙමඟින් හිස් වන මන්ත්‍රි ධුරයට ඊළඟ සුදුසුකම් ලද පුද්ගලයා පත්කිරීමට අවශ්‍ය බලධාරීන් හට නියෝග කරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමෙන් 1 වැනි වගඋත්තරකාර අගමැති රනිල් වික්‍රමසිංහට අමතරව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක යන අයද ලංකා බැංකුව හා මහජන බැංකුවද සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.

උපුටා ගැනිම–මවිිබම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *