අගමැතිගෙන් අද සහන මල්ලක්—කෘෂි-නිෂ්පාදන අංශවලට වාසි රැසක්

අගමැතිගෙන් අද සහන මල්ලක්—කෘෂි-නිෂ්පාදන අංශවලට වාසි රැසක්

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය , නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව දැවැන්ත පෙරළියක් ඇති කිරීමට විශාල බදු සහන ප්‍රමාණයක් අද (23) දින සිට සිදු කරන බව නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව අද රටට අනාවරණය කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

ඒ මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යයාලයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. මේ ආණ්ඩුව දැන් අවස්ථා 3ක දී තෙල් මිල අඩු කළ ආණ්ඩුවක්. අද දවස වන විට මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වන ආකාරයේ විශාල බදු සහන ප්‍රමාණයක් කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයට දෙන්නට තීරණය කර තිබෙනවා. මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව රටට අනාවරණය කිරීමට නියමිතයි.

විපක්ෂයේ අය පවසන ආකාරයට මේ ආණ්ඩුව නීති විරෝධී ආණ්ඩුවක් නම් මේ සහන ලබා දෙන්නේත් නීති විරෝධී ලෙස පිහිට වූ ආණ්ඩුවකින්. ඒ අය කියන්න ඕනේ මේ සහනත් නීති විරෝධී කියා.

තෙල් මිල අඩු කිරීම නීති විරෝධීයි කියා අපි පිළිගන්නේ නැහැ. කෘෂි ක්ෂේත්‍රයට ලබාදෙන බදු සහනත් නීති විරෝධී නෑ.

රුපියල් 500ට පොහොර ලබා දෙන එකත් නීති විරෝධී නම්, නාමල් කරුණාරත්නගේ අමුඩ බළකාය කොළඹට ඇවිත් කියන්න ඔනේ පොහොර සහනාධාර ලබා දෙන්නේ නීති විරෝධී ආණ්ඩුවකින්, ඒ නිසා නීත්‍යානුකූල රනිල්ගේ ආණ්ඩුවකින් දුන් පොහොර සහනාධාර හොඳ යි කියා. මේ ආණ්ඩුවෙන් අඩුවට දෙනවාට විරුද්ධයි කියා .

මේ රටේ කෘෂිකර්මාන්තය, ස්වදේශ නිෂ්පාදන වනසා, විදේශිකයන්ට මේ රටේ ආර්ථීකය පාවා දුන්නා. තව අවුරුද්දක් ගියා නම් බාරගන්න රටක් ඉතිරි වෙන්නේ නෑ .

කෘෂිකර්මාන්තය , ස්වදේශ නිෂ්පාදනයන්ට අත දෙන , ස්වදේශීකයාගේ ආර්ථික අභිලාෂයන්ට පණ දෙන, මේ රටේ අමාරු වෙලාවේ රට බේරා , යුද්ධයෙන් රට බේරා ගත් නායකයා ඒ අවදානම දැක රට බේරා ගත්තේ.

අද කෘෂිකර්මාන්තයට දෙන බදු සහන මඟන් ඒ කර්මාන්තවල විශාල පිබිදීමක් ඇති වෙනවා. ඒ වාගේ ආර්ථිකයට ධනාත්මක ඉන්ජෙක්ෂන් ගහන්න ඔනේ.

අද දවසෙ මුදල් ඇමැතිවරයා වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව , අපනයන කෂේත්‍රයට අදාළව , විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුවේ මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ඉතාම දරුණු ලෙස මේ කර්මාන්ත සහ ගොවි ජනතාව වෙත පැනවූ බදු සම්බන්ධව කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *